ගෑස්‌, භූමිතෙල්, අර්තාපල්, මුං ඇට, පරිප්පු, සුදු සීනි සහ හාල්මැස්‌සන් මිල අඩුකරන බව යෝජනා කරමින් මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (10 දා) ශ්‍රී ලංකාවේ හැත්තෑ එක්‌වැනි අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙරට විසි වැනි මුදල් ඇමැතිවරයා ලෙස රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ තෙවැනි අයවැය වාර්තාව මෙය වේ.

මුං ඇට කිලෝවක්‌ රුපියල් 15 කින්ද පරිප්පු කිලෝවක්‌ රුපියල් 10 කින්ද, අර්තාපල් කිලෝවක්‌ රුපියල් 5 කින්ද, හාල්මැස්‌සන් කිලෝවක්‌ රුපියල් 5 කින්ද, සුදු සීනි කිලෝවක්‌ රුපියල් 2 කින්ද, භූමිතෙල් ලීටරයක්‌ රුපියල් 5 කින් සහ ගෘහස්‌ථ ගෑස්‌ සිලින්ඩරයක්‌ රුපියල් 25 කින් අඩු කරන බව රවි කරුණානායක මහතා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් කීවේය.

මීට අමතරව දේශීය කිරිපිටි ග්‍රෑම් 400 ක මිල රුපියල් 295 ක්‌ සහ දේශීය ටින් මාලු ග්‍රෑම් 425 ක මිල රුපියල් 125 ක්‌ ලෙස තවදුරටත් පවත්වාගෙන යන බවද ඇමැතිවරයා කීවේය.

අධිවේගී මාර්ගවල ගාස්‌තුව රාත්‍රි 9 සිට අලුයම 5 දක්‌වා කාලයට රුපියල් 50 කින් අඩු කෙරේ. සමෘද්ධි දීමනාවෙන් අඩුවන පරිදි එක්‌ සමෘද්ධි ලාභියෙකුට මසකට සහල් කිලෝ 5 ක්‌ ලබා දේ.

මූලික ණය සීමාව රුපියල් ලක්‍ෂ 05 දක්‌වා වූ ණය තිබෙන්නන්ගේ ණය ඉතිහාස තොරතුරු ලබා නොදෙන ලෙස ණය තොරතුරු කාර්යාංශයට (ක්‍රිබ්) නිර්දේශ කෙරේ.

අරමුදල්, ලාභාංශ, භාණ්‌ඩාගාර බිල්පත් හා බැඳුම්කර මත දැනට අයකරන සියයට 10 ක ආදායම් බද්ද සියයට 14 දක්‌වා ඉහළ නැංවේ.

සේවා නියුක්‌තිකයන්ගේ මසක සේවා ආදායම ලක්‍ෂයක්‌ නම් ඒ සඳහා උපයන විට ගෙවීමේ බදු නිදහසක්‌ ලැබේ. එය එක්‌ලක්‍ෂ පනස්‌ දහසක්‌ වන්නේ නම් සියයට දහයක්‌ද, ලක්‍ෂ දෙක ඉක්‌ම වන්නේ නම් සියයට විස්‌සක්‌ද උපයන විට ගෙවීමේ බද්දක්‌ පැනවේ.

රත්‍රන් සහ අභරණ ආනයන ඇතුළු වටිනා ලෝහ ආනයනයේදී ඒවා වැට්‌ බද්දට යටත් වේ.

ඊසි කෑෂ් ඇතුළු බැංකු සහ මූල්‍ය සමාගම මගින් කෙරෙන ගනුදෙනු සඳහා රුපියල් දස දහසකට රුපියල් 5 ක නව බද්දක්‌ හඳුන්වාදේ.

අන්තර් ජාල සේවා සඳහා වන විදුලි සංදේශ සේවා ගාස්‌තුව සියයට 25 දක්‌වා වැඩි කෙරේ.

ජංගම දුරකථන සඳහා සිම් කාඩ්පත් ක්‍රියාත්මක කිරීමේ ගාස්‌තුව ලෙස රුපියල් 200 ක්‌ අය කරේ.

ආනයනික බියර් මිලි ලීටර් 325 ට අඩු කෑන් එකක්‌ සඳහා රුපියල් 10 ක හා මිලි ලීටර් 325 ට වැඩි කෑන් එකක්‌ සඳහා රුපියල් 15 ක නිෂ්පාදන (විශේෂ විධි විධාන) බද්දක්‌ අය කෙරේ.

ඉන්ධන මගින් ධාවනය වන සියලු වාහන සඳහා කාබන් බද්දක්‌ හඳුන්වා දේ. එන්ජින් ධාරිතාව මත පදනම්ව නිෂ්පාදන බදු අය කිරීමේ ක්‍රමය යතුරු පැදි සඳහාද යෝජනා කෙරේ. මෝටර් බල ධාරිතාව 100 නඅ ට අඩු ඉලෙක්‌ටි්‍රක්‌ කාර් සඳහා නිෂ්පාදන බද්ද අඩු කෙරේ.

මෝටර් රථ සඳහා එයාර් බෑග් සහ ආසන පටි අනිවාර්ය වේ. අවුරුදු පහකට වැඩි වාහන අපනයනය කිරීමේදී බදු සහනයක්‌ ලබා දේ.

මගීන් නැව් නැගීමේදී හා ගුවන් ගත වීමේදී ගෙවන ගාස්‌තුව ඇමෙරිකානු ඩොලර් 50 දක්‌වා වැඩි කෙරේ.

කිරිපිටි ආනයන බද්ද කිලෝවකට රුපියල් 100 දක්‌වා අඩු කෙරේ. පානීය මධ්‍යසාර ආනයන බද්ද ලීටරයකට රුපියල් 500 සිට 800 දක්‌වා වැඩි කෙරේ.

රබර් අපනයන සෙස්‌ බද්ද කිලෝවකට රුපියල් 15 දක්‌වා වැඩි කෙරේ.

ඕනෑම පුද්ගලයෙකු උසාවියේ නඩුවක්‌ ගොනු කිරිමේදී නඩු පැවරීමේ ගාස්‌තුවක්‌ අය කෙරේ.

මෝටර් රථ වාහන රියදුරන්ට දඩ ගෙවීමේදී ජංගම දුරකථනය මගින් එය ගෙවීමේ ක්‍රමවේදයක්‌ හඳුන්වා දේ. වීසා ගාස්‌තු සංශෝධනය කරන අතර සෑම පාසල් දරුවකුටම රුපියල් ලක්‍ෂ දෙකක රක්‍ෂණාවරණයක්‌ පිරිනැමේ. රක්‍ෂණ වාරිකය රජය විසින් ගෙවනු ලැබේ.

සෑම උසස්‌ පෙළ සිසුවෙකුටම සහ ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක යන්ත්‍රයක්‌ සහ සෑම පාසලකටම පරිගණක යන්ත්‍ර 50 ක්‌ ලබා දීමට යෝජනා කරන බව ද මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

කුකුල් මස්‌ අපනයනයේදී සෙස්‌ බද්දක්‌ අය කරන බව ද කසළ තේ අපනයනය කළහොත් කිලෝවකට රුපියල් තුන්සියයක දඩයක්‌ නියම කෙරේ.

ත්‍රිරෝද රථ වෙනුවට රෝද හතරේ විද්යුත් කාර්Êදහසක්‌ හඳුන්වාදීම සහ පාසල් වෑන් රථ ආසන තිස්‌දෙකේ බස්‌ රථවලට මාරු කිරීම සඳහා ණය මුදලක්‌ ලබා දීමට ද යෝජනා කෙරිණි. ත්‍රිරෝද රථ සහ පාසල් වෑන් රථ නියාමනයට ක්‍රමවේදයක්‌ හඳුන්වා දීමට ද යෝජනා කෙරිණි.

වසර පහළොවකට වඩා වැඩි කාලයක්‌ රජයේ නිවාසවල පදිංචිව සිටී නම් එම නිවසේ හිමිකාරීත්වය පදිංචිකරුවන්ට ලැබේ.

සමෘද්ධි ව්‍යාපාරය “ජන ඉසුරු” ලෙස නම් කෙරේ.

අග්‍රහාර රක්‍ෂණය ජීවිත කාලය සඳහා ලබා ගත හැකි ලෙස කාලය දීර්ඝ කෙරේ.

චිත්‍රපට සංරක්‍ෂණාගාරයක්‌ සඳහා රුපියල් කෝටි පහක්‌ ලබාදීමට මෙන්ම පණ්‌ඩිත් අමරදේව සංගීත ආශ්‍රමය සඳහා රුපියල් කෝටි දෙකහමාරක්‌ ලබා දේ.

දුෂ්කරතා මධ්‍යයේ රාජකාරි කරන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට අවශ්‍ය උපකරණ ලබාගැනීම සඳහා පොලී රහිතව රුපියල් ලක්‍ෂ තුනක ණය මුදලක්‌ යෝජනා කෙරිණි.

වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක කරු ජයසූරිය මහතාගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව ඊයේ (10 දා) රැස්‌වූයේ පස්‌වරු 2.00 ට ය.

නිවේදන සහ වාර්තා ඉදිරිපත් කළ පසුව අය වැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම මුදල් ඇමැති රවි කරුණානායක මහතා යෑයි කථානායකවරයා නිවේදනය කළේය.

සභාගැබට ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිවිසෙන දොරටුවෙන් සුදු පැහැති ජාතික ඇඳුමින් සැරසී මුදල් ඇමැති රවි කරුණානායක මහතා පස්‌වරු 2.05 ට ඇතුළු වී සිය අසුන වෙත පිවිසියේ ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ගේ අත්පොළසන් හඬ මැදය. අය වැය රහස්‌ ඇතුළත් කලු පැහැති බී්‍රප් කේසය සිය මේසය මත තැබූ රවි කරුණානායක මහතා ඒ තුළ ඇතුළත් අය වැය යෝජනා සහිත ගොනුව පිටතට ගෙන ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.

ඇමැතිවරයා අය වැය වාර්තාව කියවන අතර පස්‌වරු 2.20 ට පමණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සභා ගැබට පැමිණ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අසුනට යාබද අසුනේ හිඳගත්තේය.

අය වැය කතාව ඉදිරිපත් කරන අවස්‌ථාව දැක බලා ගැනීමට පැමිණි විදෙස්‌ තානාපතිවරු සහ රජයේ නිලධාරීන්ගෙන් මහජන ගැලරිය පිරී තිබිණි.

රවි කරුණානායක මහතා පස්‌වරු 2.05 සිට පස්‌වරු 5.07 දක්‌වා පැය තුනක කාලයක්‌ පුරා අය වැය කතාව සිදු කළේය.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here