පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට විභාග කෙරෙන රජය විසුරුවා හැරීමේ නඩුවේ විනිසුරුවරුන්ට අදාළ වන ලෙස පෞද්ගලික රූපවාහිනී නාළිකාවක පැවති සංවාදයකදී කළ ප්‍රකාශය ගැන තීරණයක් ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පසුගියදා විශේෂ රැස්වීමක් පවත්වා ඇත.

පසුගිය සතියේ දිනක අගවිනිසුරු නලින් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විශේෂ රැස්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හත් දෙනෙක් සහභාගී වි ඇතැයි වාර්තා වේ.

එහිදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කළැයි කියන ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටය ගෙන්වා පරීක්ෂා කිරීමට විනිසුරු මඩුල්ල තීන්දු කර තිබේ.

ඒ අනුව අදාළ සංවාදය පැවැත්වූ රූපවාහිනී නාළිකාවෙන් වහාම ගෙන්වාගත් අදාළ වීඩියෝ දර්ශන ඇතුළත් සී.ඩී. තැටි මේ වනවිටත් විනිසුරුවරුන්ට බෙදාදී ඔවුන්ගේ නිරීක්ෂණ කඩිනමින් සපයන්නැයි අගවිනිසුරුවරයා දන්වා ඇතැයි වාර්තා වේ.

මේ අතර එම රූපවාහිනී වැඩසටහනේදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව තිබෙන පැමිණිල්ල ලබන වසරේ පෙබරවාරි 26වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07) නියම කර තිබේ.

ඊවා වනසුන්දර සහ එල්. ටී.බී .දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවන ලදී.

රූපවාහිනී විවාද අතර තුර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නඩුවේ විනිසුරු මඩුල්ල පිළිබඳව සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් මෙලෙස අධිකරණයේ පෙනී සිටිමට රාමනායක මහතාට නොතීසි නිකුත් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here