• වියදම රුපියල්  කෝටි 28,000යි
  •  රැකියා අවස්ථා 63,000යි
  •  ආයෝජනවලට ඉඩම් අක්කර 670ක්
  •  නිවාස 40,000යි;
  • පරිසර හිතකාමි හරිත නගරයක්

ශ්‍රී ලංකාවේ 2018 අලුත් සිතියමට අනුව 2012 වසරේ තිබූ පැරැණි ලංකා සිතියමට භූමි අක්කර 670ක් අලුතින් එකතු වී, ශ්‍රී ලංකාව විශාලත්වයෙන් වැඩිවී ඇත. ඒ අන් කිසිවක් නිසා නොව, කොළඹ වරාය නගරය (Port City) වෙනුවෙන් කොළඹ මහ මුහුද අක්කර 670ක් (හෙක්ටයාර 269) ගොඩ කර රටට අලුතින් වර්ග කිලෝමීටර් 2 1/2ක් එකතු වීම හේතුවෙනි.

රුපියල් කෝටි 28,000ක ආයෝජන මඟින් ඉදි වන මේ කොළඹ වරාය නගර‍ය මඟින් අපේ රටේ තරුණ තරුණියන්ට අලුත් රැකියා අවස්ථා 63,000ක් ලැබේ; අලුත් ආයෝජන අවස්ථා රැසක් උදා වෙයි; නව නිවාස 40,000ක් ඉදි වේ.

ආසියාවේ සංචාරයට ඉතාම සුදුසු රට බවට අපේ රට පත් වී ඇත. එමෙන්ම ලොව ඡායාරූපකරණයට ඉතාම සුදුසු නගරයක් බවටද කොළඹ නගරය පත්ව තිබේ. ඒ අතරම අලුත්ම තත්ත්වය අනුව අද ලොව වැදගත්ම ආයෝජනවලටද අපේ රට ඉතා සුදුසු බව එතෙර-මෙතෙර ආයෝජකයන්ට දැන් තේරුම් ගත හැකිවනු ඇත. අප එසේ කියන්නේ දැන් සම්පූර්ණ ලෙස ගොඩකර අවසන් වූ කොළඹ වරාය නගරය (Port City) දැන් ලොව සුපිරි ආයෝජකයන්ට ආයෝජන අවස්ථා වලට ක්ෂේම භූමියක් බවට පත් වෙමින් තිබෙන බැවිනි.

දැනට බස්නාහිර පළාත් සහ මහානගර සංවර්ධන අමාත්‍යාංශය මඟින් මෙහෙයවනු ලබන කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රථම අදියර ලෙස කොළඹ වරාය නගරයේ වැලි පිරවීමේ කටයුතු දැන් සම්පූර්ණයෙන් අවසන් කර ඇත. එම ව්‍යාපෘතියේ ප්‍රථම අදියර අවසන් කර තිබේ. ඒ හෙක්ටයාර 269ම දැන් ලොව සුපිරි ආයෝජකයනට තම ව්‍යාපාර සඳහා සූදානම්ව පවතී.

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය යනු ඇ.එ.ජ. ඩොලර් බිලියන 1.4ක මූලික ආයෝජනයකින් සහ සමස්ත ලෙස ඩොලර් බිලියන 16ක පමණ ආයෝජනයක් මඟින් කොළඹ මධ්‍යම වාණිජ දිස්ත්‍රික්කය පුළුල් කරමින් ඉදි කෙරෙන අතිනවීන සැලසුම්ගත නගර සංවර්ධන ව්‍යාපෘතියකි. කොළඹ ගාලු මුවදොර ප්‍රදේශයට ආසන්න මුහුදින් හෙක්ටයාර 269ක් ගොඩකර මේ නව නගරය ඉදි කෙරේ. කොළඹ වරාය නගරය තුළ ඉදි වන ප්‍රධාන අනු-කලාප 5කි. ඒවා මූල්‍ය දිස්ත්‍රික්කය, උද්‍යානය, අන්තර්ජාතික දිවයින, සැහැල්ලු යාත්‍රාංගණය සහ දූපත් දිවිය නම් වේ.

මෙහි ලොව ඉහළම ‍ශ්‍රේණිගත මට්ටමේ කාර්යාල පහසුකම්, අතිනවීන සෞඛ්‍ය සේවා, ප්‍රමිතිගත අධ්‍යාපන සේවා, බහුවිධ සේවා සංචාරක නිකේතන, සැහැල්ලු යාත්‍රාංගණ, ලොව ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සන්නාමස සහිත සාප්පු සංකීර්ණ, හෝටල් සහ විවිධ ජීවන හැඩතල සඳහා වෙන් වූ සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා ඉඩකඩ වෙන් වනු ඇත. මේ නගරය තුළ වඩාත් දියුණු තිරසර සංවර්ධන ක්‍රමෝපාය සහ සුහුරු සංකල්ප ක්‍රියාවට නැංවීමට නියමිත බැවින් එය දකුණු ආසියාවේම කේන්ද්‍රස්ථානය බවට පත් වනු ඇත.

වරාය නගර ව්‍යාපෘති සමාගම මඟින් (CHEC Port City Colombo) වරාය නගර සමස්ත ගොඩ කිරීමේ කටයුතු අවසන් කර ඇත. මේ වැදගත් අවස්ථාව නිමිත්තෙන් වැලි කැණීමේ කටයුතුවල නිරතව සිටි අවසන් නෞකාව වන ෂිං හායි ලෝං (Xin Hai Long) වරාය නගර භූමියෙන් සමු ගැනීමට සිදු විය. හෙක්ටයාර් 269ක භූමි ප්‍රමාණයේ පිළිසැකැසුම් මේ වන විට සම්පූර්ණ කොට ඇති අතර නව නගරයේ දෙවන අදියර සඳහා දැන් සියලු කටයුතු සූදානම්ය.

දැනට ව්‍යාපෘතියේ දෙවැනි අදියර සඳහා වැඩකටයුතු සූදානමින් පවතින අතර, මූලික යටිතල පහසුකම් සැපයීමටද සැකැසුම් යොදා ඇත. නව නගරය වෙත ‍විදෙස් ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සඳහා ඉඩම් හිමිකම් ලබාගැනීම හා ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා ව්‍යාපෘති සමාගම, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සමඟ හවුල්කාරිව ක්‍රියා කරමින් සිටියි.

වැලි පිරවීම අවසන් කිරීම සඳහා පැවැත්වූ උත්සවයට, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලි චම්පික රණවක මහතා, චීන තානාපති චෙන්ග් ෂුයේයුවාන් (Cheng Xueyuan) මහතා හා පෝර්ට් සිටි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජියැං හවුලියැං (Jiang Houliang) අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ යන මහත්වරු සහභාගි වූහ.

මේ කොළඹ වරාය නගරය ඇතුළත පරිසර හිතකාමි නාගරික සංවර්ධන උද්‍යානයක් ප්‍රධාන ලෙස ඉදි වේ. ඊට අමතරව කොළඹ නගරය ඇතුළත ප්‍රධාන ඉඩම් කොටස් හතරේ ජගත් මට්ටමේ මුල්‍ය මධ්‍යස්ථානයක් අන්තර්ජාතික මට්ටමේ සම්මන්ත්‍රණ ශාලාවක් ලොව ඉහළම මට්ටමේ අන්තර්ජාතික පාසලක් හා ජගත් මට්ටමේ රෝහලක් ඉදිකිරීම ඉදිරි වසරේදි අවසන් කෙරේ.

කොළඹ වරාය නගරය ඇතුළත ඇති ඉඩම් කොටස්වල විශාල ආයෝජන කලාප 74ක් ලොව ප්‍රධාන පෙළේ ආයෝජකය් 74 දෙනකුට ලබාදීමට දැන් සාකච්ඡා කෙරෙමින් පවතින බව ව්‍යාපෘති අධ්‍යක්ෂ නිහාල් ප්‍රනාන්දු මහතා පවසයි.

ඊට අමතරව මෙරට උගතුන්ට පිටරටවල සියලු වරප්‍රසාද පහසුකම් ආදිය මෙහිදීම ලබාදීමට වරාය නගරය මඟින් අවස්ථාව ලැබී ඇත. ඒ මඟින් උගතුන් රට හැර යෑම නවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ආසියාවේ දියුණු තිරසර සංවර්ධන ක්‍රමෝපායන් සහ සුහුරු සංකල්ප ක්‍රියාවට නවතම කේන්ද්‍රස්ථානයක් ලෙස පත් වීමට දැන් මේ‍ කොළඹ වරාය නගරයට අවස්ථාව ලැබී තිබේ.

‍මේ පිළිබඳව තවදුරටත් කරුණු දැක්වූ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ නිහාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ මේ නගරය දකුණු ආසියාවේ සියලු පහසුකම් සහිත නගරයක් බවට පත් කරන බවයි.

කොළඹ වරාය නගරය ජනතාවට නැරැඹීමට ඉදිරියේදි නැරඹුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන බවත්, ඉදි කිරීම් අවසන් වීමට කලින් එලෙස ජනතාවට මෙහි සිදු වන දේ බැලීමට ඉඩකඩ සලසා දෙන බවත් නිහාල් ප්‍රනාන්දු මහතා පවසයි. මෙහි දෙවැනි අදියර යටතේ දැනටමත් මාර්ග ඉදි කිරීම, පැළ සිටුවීම් හා පාලම් 9ක් ඉදි කිරීම ආරම්භ කර තිබේ.

දැනටමත් නව ආයෝජන පිළිබදව ආයෝජකයන්ට චීන සමාගම සාකච්ඡා කරමින් සිටින අතර, ඉඩම් බදු දීම ආදිය අවසන් වූ පසු මේ වසරේ අදාළ ආයෝජන සමාගම්වල ගොඩනැඟිලි ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

වරාය නගරයේ වැලි පිරවීම් හෙක්ටයාර 569 පුරාම දැන් සිදු කර අවසන්ය. මීටර් 25-75 දක්වා මහ මුහුද මේ අයුරින් පුරවා තිබේ. ඒ අනුව වැලි ඝන මීර් මිලියන 65ක් පුරවා තිබේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ නිහාල් ප්‍රනාන්දු මහතා පවසන පරිදි මේ කොළඹ වරාය නගරයට අලුත් උමං මාර්ග දෙකක් ද ඉදි වෙයි. ඉන් ප්‍රථම උමං නගර මාවත ඉදි වන්නේ කිලෝමීටර් 5කට අධික දුරක් ඇති වරාය නගරයේ ප්‍රධාන මාර්ගය යටින්ය. ඒ අනුව වරාය නගරයේ සියලුම යටිතල පහසුකම් ලබාදීමට හා කළමනාකරණයට අවශ්‍ය සේවා සඳහා සියලු පහසුකම් මේ උමං මාර්ග නගරයේ සකස් කරනු ලැබේ. ඒ උමං මාර්ගයේ ජලය, විදුලිය, දූරකථන සම්බන්ධතා හා ගෑස් සම්බන්ධතා අවශ්‍ය ආයතනවලටද සාප්පුවලට නිවාසවලට ලබාදීමට කටයුතු කරනු ලැබේ. වරාය නගරයේ සියලු ගෑස් අවශ්‍යතා සඳහා ගෑස් සිලින්ඩර් නොව ඉතා ආරක්ෂාකාරි ලෙස ගෑස් නළ මඟින් සම්බන්ධතා ලබාදෙන බවද ව්‍යාපෘති අධ්‍යක්ෂ වරයා පවසයි.

මීට අමතරව මේ වරාය නගරයට සම්බන්ධව තවත් උමං මාර්ගයක් වරාය චෛත්‍යයේ සිට කොල්ලුපිටිය සමුද්‍ර මාර්ගය දක්වා ඉදි කෙරේ. එය වරාය නගරය ප්‍රධාන මාර්ගයට ද සම්බන්ධ කෙරේ. කටුනායක ගුවන් තොටුපළේ සිට එන කණු උඩ දිවෙන අධිවේග මාර්ගය අවසන් වන්නේ වරාය චෛත්‍යය අසලින්ය. පසුව ඒ මාර්ගය උමං මාර්ගයක් ලෙස කොල්ලුපිටිය සමුද්‍ර මාර්ගය දක්වා ඉදි කරනු ලබන බවත්, එහි එක් පිවිසුමක් වරාය නගර ප්‍රධාන මාර්ගයට ලැබෙන බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැවසීය. මේ යටිතල පහසුකම් සියල්ල ලබාදී බහු ජාතික ආයෝජකයන්ට ගොඩනැඟිලි ඉදි කිරීම මේ වසරේ ආරම්භ කිරීමට යෝජිතය. කෙසේ වුවත් වරාය නගරයේ උද්‍යාන අලංකාරය හා අන්තර්ජාතික ගොඩනැඟිලි ඉදි කිරීමට නිවාස ඉදි කිරීම 2015දී අවසන් කිරීමට නියමිත බව පවසන ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වරාය නගරයේ සියලු වැඩ කටයුතු අවසන් කිරීමට තව වසර 20-25ක් ගත වනු ඇතැයි පෙන්වා දෙයි.

ඇමැති පාඨලී චම්පික ඇමැතිවරයාද පැවසූ පරිදි මේ සියලු ඉදි කිරීම් සිදු කෙරුණේ පරිසර හිතකාමිවය. ව්‍යාපෘතිය ප්‍රධාන පරිසර උපදේශක ඩබ්.ඒ.ඩී.සී. විජේසූරිය මහතා පවසන පරිදි මේ ව්‍යාපෘතියට අදාළව පාරිසරික ඇගයීම් වාර්තා දෙකක් සකස් කළ අතර, ඒවා අදාළ ආයතන හා මහජන විමසීම් මඟින්ද අනුමත කරගෙන ඇත.

ඒ මහතා පවසන පරිදි මේ වරාය නගරයේ වැලි පිරවීමට වසර 3ක් ගත වී ඇත. ඒ වසර තුන ඇතුළත වැලි ඝන මීටර් මිලියන 25ක් මේ වරාය නගරයට පුරවා තිබේ. ඒ වැලි වැඩි ප්‍රමාණයක් කළු ග‍‍ඟෙන් මහ මුහුදට පැමිණි පාරිසරික ගැටලු රැසක් ඇති කළ වැලි බවද විජේසූරිය මහතා පවසයි. පිරවීමේ වැඩ අවසන් වූ පසු දියකඩනයේ ඉදි කිරීමේ වැඩ දිගටම ක්‍රියාත්මක වේ. එය කිලෝමීටර් 4කට ආසන්නය. අපජලය බැහැර කිරීම, ජලය, විදුලිය හා දූරකථන ලබාදීම වැනි යටිතල පහසුකම් සලසා දීම ලබන වසර වන විට අවසන්වේ. මේ සඳහා විදුලිය ජාතික විදුලිබල පද්ධතිය මඟින් ලබා දේ. ඉඩම ගොඩ කර අවසන් නමුත් මේ ප්‍රදේශය ජනාධිපතිතුමා විසින් ඉඩම් ආඥා පනත යටතේ රටට අයිති භූමියක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතුය. ඊට පසු ඉඩම් ආයෝජකයන්ට බදු දීම හා ඔප්පු දීම සිදු කළ හැකිය.

මෙම ව්‍යාපෘතිය සඳහා පාරිසරික ඇගැයීම් වාර්තාව අනුව පරිසර ප්‍රශ්න අවම කිරීමට කටයුතු කර තිබේ. මේ වරාය නගරය පිරවීමට වැලි ගැනීමට තෝරාගෙන තිබුණේ පාරිසරික ගැටලු අවම වෙන ස්ථානයකි. මුතුරාජවෙල ප්‍රදේශයේද පාරිසරික ඇගැයීම් අනුව වැලි ගැනීම් සිදු විය. මේ සඳහා වැලි ගැනීම් සිදු කළේ ගොඩබිම සිට කිලෝමීටර් 5-8ක් හා ගොඩබිම සිට කිලෝමීටර 10ක් දුරින් වූ ස්ථානවලින්ය. පාරිසරික හා ඉංජිනේරු විද්‍යාව අනුව පරිසරයට හානි නැතිව වැලි ගත යුත්තේ වෙරළට කිලෝමීටර 3ක් ඈතින් හා ගැඹුර කිලෝමීටර් 15ට වැඩි ප්‍රදේශවලිනි. ඒ අයුරින් වැලි ගත හොත් පාරිසරික හානියක් හෝ ජෛව විවිධත්ව හානියක් හෝ සිදු නොවේ. ඒ අනුව යමින් වැලි ලබාගෙන ඇත්තේ වෙරළට කිලෝමීටර 10ක් දුරින් හා කිලෝමීටර් 25ක ගැඹුරකින් යුත් මහ මුහුදු ප්‍රදේශයෙනි.

මේ අනුව සමස්ත ලෙස ගත් විට දැන් මේ වරාය නගරය ඉදි කිරීම නිසා පරිසර හිතකාමි හා ආර්ථික ලෙස ප්‍රබල වටිනාකමක් ඇති ආයෝජනයට සුදුසු ඉඩකඩක් දැන් ලොව ප්‍රමුඛ පෙළේ ආයෝජකයන්ට ලැබී ඇත.

මේ මඟින් අපේ රටේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභද අතිවිශාලය. අපේ ‍රටේ දැනට ක්‍රියාත්මක විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන කොළඹ වරාය නගරය වැඩකටයුතු අවසන් වූ විට අපේ ජනතාවටත් අලුත් කොළඹක් මෙන්ම සමෘද්ධිමත් රටක්ද ලැබෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here