දශක දෙක තුනක් තිස්සේ වකුගඩු රෝගය පිළිබඳ ලද කටුක අත්දැකීම් සමගින් එම රෝගීන්ගේ ප්‍රතිකාර, නිවාරණය මෙන්ම පර්යේෂණ වැනි අංශ ශක්තිමත් කිරීම සඳහා ලැබුණු පරිත්‍යාගය රටට නව පියවරක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ලංකාවේ අනෙකුත් ප්‍රදේශ මෙන්ම සංවර්ධිත පරිවර්තනයන් ‍පොළොන්නරුවේ ඇතිවෙමින් ඇති බවත්, ආණ්ඩුව මොනවද කළේ යනුවෙන් ‍පොළොන්නරුවේ සිටින කිසිවකු හෝ ආසන්නයේ නම් ඒ මොළේ අමාරුවක් ඇති අයකු බවත් ජනාධිපතිවරයා පැවසීය.

ඊයේ (06) දින ජාතික වෘක්කවේද විශේෂිත රෝහලට මුල්ගල් තැබිමේ අවස්ථාවට එක්වෙමින් ‍පොළොන්නරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා…

චීන රජයෙන් ලැබුණු පරිත්‍යාගය ඇගයීමට ලක් කරමින් ඒ උතුම් පරිත්‍යාගය මේ රටේ ජනතාව වෙනුවෙන් විවර කරන්නට මූලික ආරම්භයක් සලසන අද දවස ඉතා වැදගත් දිනයක් ලෙස මා සලකනවා. මිලියන 12,000 ක්, කෝටි 1200 ක්, බිලියන 12 ක් වැනි විශාල මුදලක් චීන ජනාධිපති ෂින් ජින් පින් මැතිතුමා ඇතුළු චීන ජනතාව අපේ අසරණ රෝගීන් ප‍්‍රමුඛව ජනතාව වෙත ලබාදීම පිළිබඳව ශ‍්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තූතිය මා පුද කරනවා

චීනය සහ ශ‍්‍රී ලංකාව අතර තිබෙන්නේ දීර්ඝකාලීන මිත‍්‍රත්වයක්. වසර දහස් ගණනක අපේ ඉතිහාසය තුළ චීන – ශ‍්‍රී ලංකා සම්බන්ධතාවයන් ශක්තිමත් වන්නේ බෞද්ධ ඉතිහාසයත් සමගයි. ෆාහියන් භික්ෂූන් වහන්සේගේ ශ‍්‍රී ලංකා ගමනත් ඒ පිළිබඳව වන කදිම සාක්ෂියක්. මෑත යුගයන් පිළිබඳව කතා කරන විට 1956 බලයට පත් වූ එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමා ලෝකයේ සියලූ රාජ්‍යයන් සමග රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ගොඩනැගීමේ ප‍්‍රතිඵලයක් විදියට 1957 චීනය සමග රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ඇති කර ගත්තා. මේ වසර චීන ශ‍්‍රී ලංකා 70 වෙනි සබඳතා සමරන වසරයි. පසුගිය වසර 70 ක කාලය තුළ සෑම රජයක් යටතේම චීනය අපේ රටේ සංවර්ධනයට විවිධ ක්ෂේත‍්‍ර හරහා විශාල වශයෙන් ආධාර උපකාර කරලා තිබෙනවා. චීන රජය අපේ ආරක්ෂක හමුදාවට ලබාදුන්න නවීනතම අවි ආයුධ වසර 30  ක් පමණ පැවති එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය පරාජය කරන්න, සාමය ඇති කරන්න විශාල ශක්තියක් වුණු බව මේ අවස්ථාවේ විශේෂයෙන් සඳහන් කරන්නට  ඕනෑ.

මෙය පොළොන්නරුවේ ඉදි වූවත් මේ උතුම් පරිත්‍යාගය ලැබෙන්නේ වකුගඩු රෝගයෙන් පෙළෙන ශ‍්‍රී ලාංකීය සියලූ ජනතාවටයි. රෝගීන් සඳහා සිදුකරන ප‍්‍රතිකාර වගේම වකුගඩු රෝගය ඇති වීම සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා පර්යේෂණ අංශයකුත් මෙහි පිහිටුවීමට නියමිතයි. පසුගිය මෑත දශක දෙකක තුනක වකුගඩු රෝගය පිළිබඳව ලැබූ කටුක අත්දැකීම් සමග වකුගඩු රෝගීන්ගේ ප‍්‍රතිකාර, නිවාරණය, පර්යේෂණ වැනි අංශ ශක්තිමත් කිරීම සඳහා මේ ලැබුණු පරිත්‍යාගය තුළින් රජයක් විදියට සහ රටක් විදියට නව පියවරක් තබනවා.

ගෙවී ගිය අවුරුදු තුනක කාලය ගත් විට ලෝකයේ ප‍්‍රබල රාජ්‍යයන් ප‍්‍රබල රාජ්‍ය නායකයින් සියලූදෙනා හමුවෙමින් ගොඩනගාගත් අන්තර්ජාතික සහයෝගිතාවය මිත‍්‍රත්වය සුහදතාවය අපේ රටේ සංවර්ධනයට සහ විවිධ ක්ෂේත‍්‍ර සඳහා ඉතාමත් වැදගත් වෙලා තිබෙනවා. චීනයෙන් මේ ලැබුණු මහා පරිත්‍යාගය වගේම මීට මාස 03 කට කලින් ඉන්දීය රජයෙන් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිුමාගෙන් පාසලක් ලබා දෙන්න කියලා මා ඉල්ලීමක් කළා. කදුරුවෙල නගරය පසුකරන විට ඉදිවෙමින් තිබෙන්නේ ඒ ත්‍රෛභාෂා පාසලයි. ඒවගේම මම දැන් මාස දෙකකට කලින් කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වුණා. එහිදී අපට උදව් ආධාර රාශියක් ලැබුණා. කටාර් ඉඳලා ලංකාවට ඇවිල්ලා දවස් දෙකක් ඇතුළත කටාර් එමීර් පාලකතුමා විශේෂ පණිවුඩයකින් දැන්වුවා ලංකාවේ  ඕනෑම ස්ථානයක මහා නගරයක් ඉදි කරන්න කෝටි සිය ගණනක පරිත්‍යාගයක් කරන්නම් කියලා. චම්පික රණවක අමාත්‍යතුමාට ඒ නගර සැලැස්ම මම භාර දුන්නා. එතුමයි මහනගර අමාත්‍යාංශයයි තීරණය කරන ලංකාවේ සුදුසු ස්ථානයක ඒ මහ නගරය ඉදි කිරීමේ කටයුතු වහා ආරම්භ කරන්න කටයුතු යෙදෙනු ඇති. මම රුසියාවට ගිය අවස්ථාවේ ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මැතිතුමා සමග ඉතා හිතවත් මිත‍්‍රශිලීභාවයක් ඇති කර ගත්තා. රාජ්‍ය නායකයෙකුට රුසියාවට එන්න ඇරයුමක් ලැබුණේ වසර 44කට පසුවයි. දීර්ඝකාලීන සහයෝගීතාවය මත මේ රටේ ආරක්ෂාවට අවශ්‍ය නැව්, ගුවන් යානා, හෙලිකොප්ටර් සඳහා රුසියන් රජය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තිබෙනවා. ඒවගේම ගිය සතියේ කොරියාවේ සංචාරය කළා. කොරියාවේ නව ජනාධිපතිතුමා මුන් ජේ මැතිතුමා ඉතාම නිහතමානී විශිෂ්ට නායකයෙක්. ඔහු අපිට උදව් ආධාර රාශියක් දුන්නා. ඔහුගෙන් සමුගන්න වෙලාවේ එතුමා මගේ කනට කරලා කිව්වේ  ඕනෑම හදිසි අවස්ථාවක අත්‍යවශ්‍ය කුමක්ද එතුමාට දුරකථන ඇමතුමකින් දන්වන්න එසැණින් එය ඉටුකරනවයි කියලා එතුමා මට කිව්වා. මේ විදියට අපි ලෝකයේ සෑම රටක් එක්කම යුරෝපයද ඇමෙරිකාවද අනිකුත් සියලූ රටවල් සමග ඒ අන්තර්ජාතික සහයෝගීතාවය වර්ධනය කර ගෙන තිබෙනවා.

පොළොන්නරුවේ ඉන්න කවුරුහරි කියනවා නම් මේ ආණ්ඩුව මොනවද කළේ කියලා. මම හිතන්නේ මොලේ අමාරුවක් තියන කෙනෙක් තමයි එහෙම අහන්නේ. වෙනස පැහැදිලිව දකින්න තියෙනවා. ඒ අවශ්‍ය වෙනස පරිවර්තනය සංවර්ධනය තුළ පෙන්නුම් කරලා තිබෙනවා. මහ පාරේ යන විට ඔබ ඒ වෙනස දකිනවා. පොළොන්නරුව නව නගරයට ගියාම නව ඉදිකිරීම් මොනතරම්ද? නගර සභා කාර්යාලය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, කෞතුකාගාරය, පුස්තකාලය වැනි මොනතරම් විශාල නව ඉදිකිරීම් නව නගරයේ පමණක් තිබෙනවද?

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පාසල් 242ක්. ඒ 242න් අද ‘පිබිදෙමු පොළොන්නරුව’ වැඩසටහන යටතේ පාසල් 150කට වැඩිය මේ වනවිට ව්‍යාපෘති අවසන් කරලා තිබෙනවා. ලබන අවුරුද්ද වන විට පාසල් 242කම කිසිදු අඩුපාඩුවක් නැතිව මේ දිස්ත‍්‍රික්කයේ දරුවන්ගේ අනාගතය සඳහා අංගසම්පූර්ණ පාසල් බවට පත් වෙනවා. ඒ සියලූ කාර්යයන් අපි ඉෂ්ට කරලා තිබෙනවා. පොළොන්නරුව මහ රෝහලේ ඉඳලා මේ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය රෝහල්වලට ගියොත් ඔබ දකිනවා ඒ වෙනස කුමක්ද කියලා. වෛද්‍ය ක්ෂේත‍්‍රය, සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ගත්තොත් අපිට හොඳ වෛද්‍ය සේවයක් තිබෙනවා. හොඳ වෛද්‍යවරු ඉන්නවා. අපිට හොඳ හෙද සේවයක් තිබෙනවා. අපිට හොඳ පරිපූරක වෛද්‍ය සේවයක් තිබෙනවා. අපිට හොඳ අතුරු වෛද්‍ය සේවාවක් තිබෙනවා. මුළු ලෝකයේම ගෞරවයට පාත‍්‍ර වුණු ගුණාත්මකභාවයෙන් සහ උසස් ප‍්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවාවක් අපිට තිබෙනවා. ඒ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරන්න රාජිත සේනාරත්න ඇමතිතුමාගේ නායකත්වය තුළ නිදහස් සෞඛ්‍ය සේවාවට දිය හැකි සෑම උදව්වක් උපකාරයක්ම කරලා තිබෙනවා.

මේ ගෙවී ගිය වසර තුන මේ රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රබල පරිවර්තනයකට ලක්වුණු ක්ෂේත‍්‍රයක්. නිදහස් සෞඛ්‍ය සේවාවට තිබුණු බොහෝ බාධාවන් ඉවත් කරලා අවශ්‍ය සම්පත් ලබාදීලා මීට පෙර කිසිම රජයක් ලබා නොදුන්නු මුදල් ලබාදීලා මේ අවුරුදු තුන තුළ මේ රටේ සෞඛ්‍ය සේවය ප‍්‍රබල වෙනස්කම් රාශියකට භාජනය කරලා තිබෙනවා. ඒ වෙනස්කම් කුමන ආකාරයෙන් සිද්ධ කරලා තිබෙනවද කියලා සෞඛ්‍ය ඇමැතිතුමා ඔබට පැහැදිලි කළා. බෙහෙත් මිල අඩු කරලා අනිකුත් විවිධ ක්ෂේත‍්‍රවල පහසුකම් එක්ක තවත් පැත්තකින් නව ගොඩනැගිලි, නව තාක්ෂණික උපකරණ, මානව සම්පත් මේ සියල්ල කිසිම කාලයක නැති විදියට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරලා තිබෙනවා. සෞඛ්‍ය ඇමැතිවරයා විදියට අවුරුදු 05ක මගේ අත්දැකීම්වලදි එදා මම දුටු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අඩුපාඩු, ගැටලූ සහ ප‍්‍රශ්න, සම්පත් හි`ගය ඒවා ඒ කාලය තුළ අවශ්‍ය විදියට වෙනස් කර ගන්න මට ඉඩකඩක් තිබුණේ නැහැ.

මම සෞඛ්‍ය ඇමැතිවරයෙක් විදියට බොහෝ මානසික පීඩාවන් සමග වැඩ කළේ. අමාත්‍යාංශයේ ලේකම්වරයා මාත් එක්ක වැඩකරන කෙනෙක් නෙවෙයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එදා මාත් එක්ක වැඩ කළ කෙනෙක් නෙවෙයි. ඔවුන් ඒ තනතුරුවල හිටියත් මම කියන දේ අහන්නේ නැතිව වෙනත් අය කියන විදියටයි හැසිරුණේ. ඒ අභියෝග මැද්දේ මම ඒ අවුරුදු පහෙත් මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරන්න මට කළ හැකි උපරිම සේවාව ඉෂ්ට කළා. ඒ ඇතිවුණු දැඩි පීඩාව, ඒ ඇති වුණු හිතේ වේදනාවන් ඇතුළු අභියෝග සහ ගැටලූත් එක්ක මම ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ මම ගත්ත තීන්දුව තමයි මම සෞඛ්‍ය ඇමැතිවරයෙක් විදියට විඳපු ඒ අත්දැකීම් සහ ඛේදජනක තත්ත්වය මේ රටේ කිසිදු සෞඛ්‍ය ඇමැතිවරයෙකුට සිදු නොවේවා කියලා වගේම මගේ ආණ්ඩුව තුළ මගේ සෞඛ්‍ය ඇමැතිතුමාට නිදහසේ වැඩ කරන්න තීන්දු ගන්න අවශ්‍ය සියලූ බලතල දීලා අවශ්‍ය සම්පත් දීලා මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒ පරිවර්තනයන් සිදුවෙමින් යනවා.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ වගේම රට වශයෙන් කළ යුතු වෙනස්කම් කරමින් තිබෙනවා. රටක් විදියට තිබෙන බොහෝ අභියෝගවලදි ආර්ථිකය වෙන්න පුළුවන් ජාත්‍යන්තර වශයෙන් තිබෙන ප‍්‍රශ්න වෙන්න පුළුවන් වෙනත් විවිධ බාධාවන් සහ ගැටලූ වෙන්න පුළුවන්. ඒ සියල්ල තුළ ගෙවී ගිය අවුරුදු 03ක කරන ලද කාර්යයන් සමග යහපත් සුබවාදී අනාගතයක් සඳහා ඒ අවශ්‍ය ගමන්මග අපි සකස් කරලා තිබෙනවා. මිනිසුන්ට නිදහසේ පාරේ යන්න, නිදහසේ කතා කරන්න, නිදහසේ ලියන්න, නිදහසේ මාධ්‍ය හසුරුවන්න, ඒ සියල්ල අද සහතික කරලා තිබෙනවා. මේ අවුරුදු 03ක කාලය ගත්තහම මාධ්‍ය ආයතන ගිනිගත්තේ නැහැ. මාධ්‍යවේදීන්ගේ ජීවිත ඝාතනය වුණේ නැහැ. මාධ්‍යවේදීන් රට හැරලා ගියේ නැහැ. මේ රටේ ව්‍යාපාරිකයින්ගේ ඉඳලා ඒ සෑම ක්ෂේත‍්‍රයකම කටයුතු කරන සෑම කෙනෙකුටම නිදහසේ කටයුතු කිරීමේ පසුබිමක් පරිසරයක් අපි ගොඩනගලා තිබෙනවා.

දැන් දවස් දෙකකට කලින් මොරගහකන්ද ජලාශයේ විදුලිබල උත්පාදනය සඳහා මෙගා වොට් 25ක් ජාතික විදුලිබල පද්ධතියට අපි එක් කරනු ලැබුවා. මොරගහකන්ද කළු ගඟ පිළිබඳව වසර 60ක සිහිනය සහ රජරට ජනතාවගේ කඳු`ථ කතාව මේ වකුගඩු රෝගය වගේම තමයි. වකුගඩු රෝගය හැඳින්වූයෙත් රජරට වකුගඩු රෝගය කියලා.

මොරගහකන්ද ජලාශය පිළිබඳව වතුර නැතිව ඉල්ලා හඬන කතාව අවුරුදු 60කට 70කට එහා ඉඳලා රජරට දුක්විඳින ගොවි ජනතාවගේ ජලය ඉල්ලා අඬන මොරගහකන්ද ජලාශයේ කතාව බවට පත් වෙලා තිබෙනවා. මොරගහකන්ද ජලාශයෙන් වතුර ඉල්ලා හඬන අවුරුදු 50 ක 60ක කතාවත් මේ වකුගඩු රෝගය ආරම්භය පිළිබඳව කතාවත් මේ කාරණා දෙක ගත් විට ඒ දෙකෙහි බොහෝ සම්බන්ධතාවයන් තිබෙනවා. ජල හි`ගය ජල ප‍්‍රශ්නය ඒ තුළ ජනතාවට අවශ්‍ය පිරිසිදු ජලය ලබා ගැනීමට නොහැකි වීම, විද්‍යාත්මක පර්යේෂණ තුළ කියන කෘෂි රසායනික ද්‍රව්‍ය මුල්කර ගත් වකුගඩු රෝගය ඇති වීමට තිබෙන තත්ත්වයන් මේ සියල්ල එක සමාන කරුණු බවට පත් වෙලා තිබෙනවා.

මොරගහකන්ද ජලාශයේ මේ ඇතිවුණු නව පිබිදීමත් සමග රජරට ප‍්‍රදේශය ප‍්‍රමුඛව වියළි කලාපයට ජල හි`ගය සම්පූර්ණයෙන් ඉවත් වන නිසා නව යුගයක් නව පරිවර්තයනයක් එක්ක අපිට හොඳ අනාගතයකට කටයුතු කරන්න පුළුවන් කියලා මා විශ්වාස කරනවා. අද මේ වන විට මොරගහකන්ද ජලාශයේ සියයට 72 ක් පමණ ජලය පිරී තිබෙනවා. මේ මාසය වන විට මම හිතනවා 100% ජලය ලැබේවි කියලා. ඉන්පසුව අනුරාධපුර, පොළොන්නරුව, ත‍්‍රිකුණාමල ජනතාවට ප‍්‍රධාන වශයෙන්ම කෘෂි කර්මාන්තය සඳහා කන්න දෙක වැඩ කරන්න ජලය පිළිබඳව ප‍්‍රශ්නයක් ඇති නොවන බව නම් බොහෝම පැහැදිලියි. විශ්වාසයි කියන එක ඉතාම සතුටින් තමුන්නාන්සේලාට ප‍්‍රකාශ කරන්නට  ඕනෑ.

ඔබ දන්නවා පොළොන්නරුව දිස්ත‍්‍රික්කය සඳහා ජල සම්පාදන මණ්ඩලය යටතේ නව යෝජනා රාශියක් ආරම්භ කරලා තිබෙනවා. ක‍්‍රියාත්මක වෙලා තිබෙනවා. ඒ වගේම වකුගඩු රෝගීන් සිටින ගම්මානවල ජල පෙරණ යන්ත‍්‍ර අපි සල්ලි දීලා නාවික හමුදාව මගින් ඒ යන්ත‍්‍ර සකස් කරලා ඒ ගම්මානවලට දීලා ඒ කටයුතු සාර්ථකව කරගෙන යනවා.
වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නය ඒවගේම අනිකුත් පූජකතුමන්ලාට මගේ ගෞරවය සහ ස්තූතිය පුද කරනවා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා, අධ්‍යක්ෂ ජනරාල්තුමා, අමාත්‍යාංශය ලේකම්තුමන්ලා ඇතුළු ඒ කාර්ය මණ්ඩල විශේෂයෙන්ම පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්යය මණ්ඩලය මේ රෝහල ඉදිකිරීමේ කටයුතු වලදි මේ වැඩසටහන්වලදි දක්වන සහයෝගය කැපවීම මා ඉතාමත් අගය කරනවා. ඒ වගේම සහභාගි වෙලා සිටින අනිකුත් සියලූ රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්, ප‍්‍රදේශයේ ආදරණීය ජනතාව ඔබ සෑම කෙනෙක්ම එක්ව අපේ ප‍්‍රදේශය, අපේ රට, අපේ ගම, අපේ නගරය මේ සියල්ල පුළුල් සංවර්ධනයකට ලක් කරමින් අද දවසට වඩා හෙට දවස වාසනාවන්ත කරන්න අපි සියලූදෙනා සහෝදරත්වයෙන් බැඳීමකින් එක්ව කටයුතු කරමුයි කියන ගෞරවනීය ආයාචනය කරමින් නැවත වතාවක් චීන රජයට, චීන ජනාධිපතිතුමාට, චීනයේ ජනතාවට, මේ කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉෂ්ට කරන්න විශාල සහයෝගයක් ලබාදුන්න ශ‍්‍රී ලංකාවේ චීන තානාපතිතුමා ඇතුළු ඒ කාර්යමණ්ඩලයට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා.

මුල්ගල් තබලා මේ වැඩ ආරම්භ කරන මේ රෝහලේ ඉදිකිරීම් කරන්නේ චීන රජයේ ආයතනයි. මොරගහකන්ද ජලාශයේ කටයුතු කළේ චීන රජය ආධාර මුදල් ණය දීලා. මේ රෝහලේ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව වසර දෙකක් ඇතුළත මේ රෝහලේ ඉදිකිරීම් කටයුතු අවසන් වෙලා විවෘත කරන්න අවස්ථාව ලැබෙනවයි කියලා තානාපතිතුමා සඳහන් කරලා තිබෙනවා. ඒ සියලූ කටයුතු සම්බන්ධයෙන් මගේ ගෞරවනීය ස්තූතිය සහ සුබපැතුම් පිරිනමමින් ඔබෙන් සමු ගන්නවා.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here