මුහුණු පොත අද සමාජයේ සිදුවීම් ප්‍රචනරණයට tv redio පත්තර එදා සිට සිදුකල මහත් මෙහෙයට අභියෝගයක් කරමින් කරට කර සටන් වැදීමට සැරසෙන මෙය සමාජයේ පරිහානියට බොහෝ සෙයින් උල්පන්දම් දෙන බව බොහෝ අයගේ මතයයි. එසේම විවිධ වූ දක්ෂතා පෙන්වීමට හුව දැක්වීමටද මෙයින් ලැබී ඇති සහයෝගය ඉහත සඳහන්කළ මාධ්‍යන්ට ලන්විමටවත් නොහැකි තරම් විශාලය.

මුහුණු පොතේ ඇති දුර්වල ස්ථාන එමටය. නමුත් අපි අද කතා කරන්නට යන්නේ මුහුණු පොතේ සටහන් වූ තවත් සටහනක් ගැනයි. එම සටහන පහතින්…

කොපමණ හද්දා බොළඳ යැයි කීවත් එකම එක හින්දි චිත්‍රපටයක් බලා නැති කෙනෙක් සිටී නම් ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම 2003-2006 කාලය තුළ ජීවතුන් අතර නොසිටිය අයෙකි.එක්කෝ එවකට අත දරුවෙකි. ITN එකේ සිංහල උපසිරැසි ගන්වා පෙන්වූ බොහෝමයක් හින්දි චිත්‍රපට සිංහලයට පරිවර්තනය කළේ හේමාලි අක්කා බව අමතක නැත්තේ සැරින් සැරේ තිරය මත ඇගේ නම ඉහළ පහල ගිය නිසාවෙනි.

දැනුත් ඇය හා දුරකථන සංවාදයකින් දොඩමලු වන විට මා නිතරම විමසන්නේ

“යකෝ ඒ කාලෙ නොතේරුම් කමට අපි ෆිලුම බලන ගමන් කියවල තියෙන්නෙ ඔහේ ලිව්ව පච හෑලිද.මෙච්චර පිස්සු කෝච්චියක් කියල දන්නවයැ ඒ කාලෙ ” කියාය …

ඒ අනුව මා දන්නා පමණින් ලංකාවේම වැඩිපුරම හින්දි චිත්‍රපට නරඹා ඇති තැනැත්තිය ඇය බව ගෞරවණීයව සිහිපත් කරමි…..

කෙසේ නමුත් හින්දි චිත්‍රපටවල මංගල කිංකිණි හැඬවෙන ආකාරයන් ප්‍රායෝගික ජීවිතයට කොතෙක් දුරට ගැළපේදැයි සොයා බැලීමේ කුප්ප අදහසකින් මම කාලාන්තරයක්ම පෙළුනෙමි……

එදා මහා කුණාටු සුළඟක් සමඟ බූට් කෑ වළාකුළු කන්කෙඳිරි ගෑ විඩාබර හැන්දෑවකි. 3 idiots චිත්‍රපටයේ කියන ආකාරයට ඉරණම්කාරයා පැමිණෙන විට තිබිය යුතු කුණාටු සුළඟ ඒ අයුරින්ම ලෙසටම තිබුණි…ඒ වන විට වයස 17 ක් පමණ වූ නිසා ඉරණම්කාරයා ආවොත් මල කෙලියයි කියා සිතමින් මා පාර පුරා ඇවිදගෙන ගියේ කොළඹ සන්නියේ වෙරිවුණ අන්දිරිස්ගේ අබලන් කාරයේ ගමන් විලාශයෙන්.

මොන කර්මස්ථානයකටද මන්දා පාර අයිනේ තිබූ හද්දා නාකි රොබරෝසියා ගහකුත් කවදාවත් නැතුව මල් පුප්පාගෙන සිටී.අද නම් සොරිම තමා… මංගල කිංකිණි වැස්සට තෙමී මලකඩ කාපං කාපං ..ඉස්සරහින් එන එකාට මාව නොපෙනේවා යැයි පතා කුඩෙන් මූණ වසාගෙන ආවත් මට උගේ කකුල් දෙක පෙනේ නම් අත්දාකීමෙන් නෙවෙයි කකුල් දැකීමෙන් ප්‍රේමය ඉපදිය හැකි ද…යන්තන් ඔහු මා පසු කරගෙන ගියා පමණි..එහෙනම් ඉරණම්කාරයා අන්ධ විය යුතුය.මා ආපසු හැරී බැලුවේ සුදු සැරයටිය තිබේදැයි බැලීමටයි …

“මලෞලඔව්වයි..යකෝ ඒ ට්‍රැෆික් පොලිස් අංකල් කෙනෙක් “… සිව්දරු පියෙක් වූ ඔහුට පෙම් කරන්න ගියා නම් මා අද බරපතල වැඩ ඇතුව රක්ෂිත බන්ධනාගාරගතව හඳුන්කූරු ඔතමිනි…

මෙකී නොකී අයුරින් මා කළ දෙවන අත්හදාබැලීම වූයේ කබි අල්විදා නා කෙහෙනා එකේ මෙන් පාලු තැන් වල ඇති බංකුවල තනියම වාඩි වී සිටීමයි.එහෙමටත් පාලු තැන් වල බංකු නැති නිසා ලැලි ටිකක් හා මිටියක් ගෙන ගොස් බංකු ගසා ගැනීමටද සිතුණු වාර අනන්තය…..

ඒ අහවල් බංකුවලත් ඉඳගෙන සුපුරුදු ලෙස පෝන් එක ඔබ ඔබ සිටීම නිසා ඉරණම්කාරයා නොව හුදී ජනී ජනයාම ” මේකි මහා කාලකණ්ණියෙක් ” කියා යන්නට යන්න ඇත..මා අසළින් වාඩි උනා නම් ඒ උස්සාගෙන සිටි බර බංකුව මත තැබූ කඩලකාරයෙක් පමණි… ඔහුව ඉරණම්කරු කරගෙන මට කඩල කකා ජීවත් වීමද කළ නොහැක්කකි.

තවත් චිත්‍රපටයකට අනුව අපේ ඉරණම්කාරයා යනු පිස්සුවෙන් මෙන් අපිට ආදරේ කරන අයෙකි….මේ නිසාවෙන්ම මම පණුපෙති ගැනීමටයි කියා ගොස් පේරාදෙණිය රෝහලේ පිරිමි මානසික රෝගී වාට්ටුව අසළ එහෙ මෙහෙ ඇවිද්දේ එහෙව් එකෙක් ඉරණම්කාරයා වේ දැයි බැලීමටයි..

“මිස් ඔයා මොකද පිරිමි වාට්ටුව වටේ කැරකෙන්නෙ.ඔයා යන්න ඕනි උඩ තියන ගෑනු පිස්සු වාට්ටුවට “

“මං ආවෙ පිස්සෙක් වගෙ ආදරේ කරන කෙනෙක් හොයන්න අංකල්”

“ආ එහෙනම් හොඳයි ගෑනු වාට්ටුවෙ නතර වෙන එක..එන්න පුතේ ඕපීඩී එකෙන් ලියන් එන්න යං ඇඩ්මිට් වෙන්න “
ගෑනු වාට්ටුවට ගියොත් ඉරණම්කාරයෙක් කියා සෙට් වෙන්නේ සෙකියුරිටි අයියා පමණි.මං හද්දා බොරුවක් කියා එතනින් මාරු උනෙමි.

මේ අයුරින් බැලූ කල ඉරණම්කාරයා යනු කවුරුන්ගේ හෝ පිටපතකට අනුව අපට හමුවන සහය අධ්‍යක්ෂකවරයෙක් නොවේ….අපේ පිටපත අපිම ලියාගෙන රඟපාගතයුතු වෙමු .එය විචාරය කරන්නට කාට කාටත් හැකි නමුත් විචාරය කරන්නාට රඟපාගතහැක්කක් ද නැත…

පන්දාහේ කොළය වඩා වටිනා බව ඕන විචාරකයෙක්ට කිව හැකි නමුත් සුරැකිව ළඟ තබාගත් දුර්ලභ දෙසීයේ කොළයේ වටිනාකම දන්නේ අයිතිකරුවා පමණි.

ලිව්වේ Vindya Ishani

යාලුවන්ටත් බලන්න share කරන්න….

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here