මේ දවස්වල ආයෙත් ටෙලි තිරයේ පේන්න ඉන්නවා නේද?

ඔව්. මේ දවල්වල ‘සඳපිනි වැස්ස’ විකාශය වෙනවා. ‘මිගාර ජයවර්ධන’ කියන ප්‍රධාන චරිතය මම නිරූපණය කරන්නේ. සල්ලිකාර තාත්තා කෙනෙක්ගේ පුතෙක්. එළියට අහිංසකයෙක් වගේ පෙන්නුවට ඔහු යටගිය අතීතයත් එක්ක හොඳ සෙල්ලක්කාරයෙක්.

සැබෑ ජීවිතයෙත් විරාජ් පෙරේරා කියන්නේ සෙල්ලක්කාරයෙක්ද?

සමහරු එහෙම හිතනවා. නමුත් මම එහෙම නැහැ. වගකීමක් ඇතිව, පිළිවෙළට, විනයක් ඇතිව මම කලාව කරන්නේ. පාසල් යන කාලේ දඟකාරකම් තිබ්බා. දැන් ජීවිතය දිනනවා කියන අරමුණක ඉන්න නිසා සෙල්ලක්කාරකම් දැනෙන්නේ නැහැ.

සෙල්ලක්කාරකම් නැත්තේ විවාහකයෙක් නිසාද?

මම දැන් තාත්තා කෙනෙක්. ඒ වගකීම් මට තියෙනවා. අපිට වැරැදි කරන්න බෑ. මිනිස්සු හඳුනනකොට කොහොමත් වැරැදි කරන්න බෑ. කොතැන ගියත් දෙපාරක් හිතන්න වෙනවා. මොකද දැන් ගොසිප් කියන ඒවා වැඩියි. ඒ නිසා සෙල්ලක්කාර ජීවිතයක් සැබෑ ජීවිතයේ නෑ. ෆුල් ටයිම් නළුවෙක් වෙලා තනිකඩ වෙලා හිටියා නම් සෙල්ලක්කාරයෙක් වෙන්න තිබ්බා. බිරිය මට උපරිම නිදහස දීලා තිබ්බට මම ඒක වැරැදි විදියට පාවිච්චි කරන්නේ නැහැ.

විරාජ් කියන්නේ එක දිගට නාට්‍ය ගොඩක පේන්න ඉන්න කෙනෙක් නෙමෙයි. එහෙම වෙන්නේ විරාජ්ට පුංචි තිරයේ වැඩ හිඟ නිසාද?

ඇත්තටම අවස්ථා හිඟයක් තියෙන්නේ. හැබැයි මේ අවුරුද්දේ මම නාට්‍ය තුනක් කළා. එහෙම බලද්දී අවස්ථා ඇති කියලත් හිතෙනවා. නමුත් මීට වඩා වැඩවල මම ඉන්න ඕන කියලා හිතෙනවා. මම මියුසික් වීඩියෝ, වෙළෙඳ දැන්වීම්, ටෙලිනාට්‍ය, ච්ඍච් චිත්‍රපටවල ඉන්නවා. රැකියාව කරන ගමන් ඒ නිර්මාණවලට මම සම්බන්ධ වෙනවා. අවස්ථාව අඩු වුණාට හිතේ අමාරුව හදාගන්න පුළුවන් විදියට විවිධ නිර්මාණවල හොඳ අවස්ථා ටිකක් මට ලැබිලා තියෙනවා. නළුවෝ හැමෝම හැම වැඩකම නැහැ. හැබැයි මම මියුසික් වීඩියෝ, ටෙලි නාට්‍ය, ච්ඍච් චිත්‍රපට, වෙළෙඳ දැන්වීම් කියන නිර්මාණ වර්ග කිහිපයකම ඉන්නවා.

අනෙක් නළුවන්ට නැති චාන්ස් විරාජ්ට ලැබෙනවා කියද්දී සමහරුන්ට හිතෙන්න පුළුවන් විරාජ් පොර මානසිකත්වයෙන් ඉන්නවද කියලා?

ෂාරුක් ඛාන්ට කියන්න පුළුවන්නම් I am the Best කියලා අපිට කියන්න බැරිකමක් නැහැ. මම කොහොමත් Best කියලා හිතනවා. මම කරපු වැඩ බැලුවොත් ඒක තේරෙනවා. අවස්ථා නැති ගැටලුව විතරයි මට තියෙන්නේ. ඒක ඇයිද මම දන්නේ නැහැ. සමහරවිට අපි කෙළින් කතා කරන නිසා වෙන්නත් ඇති. නමුත් මාත් එක්ක වැඩ කරපු කෙනෙක් ඊළඟ වැඩේට මාව නොගෙන ඉඳලා නැහැ. ප්‍රසිද්ධයි කියන පිරිසත් මාව ඉදිරියේදී ඔවුන්ගේ වැඩවලට ගනියි කියලා හිතනවා. මගේ දක්ෂතා පෙන්නුවොත් ඒ අය ආරාධනා කරද්දි මම හොඳ තැනක ඉඳියි.

විරාජ් පෙරේරා මියුසික් වීඩියෝ කිං කියලා හිතාගෙන ඉන්නවා කියලා සමහරු කියනවා. ඇත්තටම විරාජ් එහෙමද?

එක සහාය අධ්‍යක්ෂවරයකුත් ඔය කතාව මට හින්ට් එකට කියනවා ඇහුණා. හැබැයි මම නම් එහෙම මියුසික් වීඩියෝ කිං කියලා කියාගෙන නැහැ. මම ජනප්‍රිය රංගන ශිල්පිනියන් එක්ක වැඩ කරලා තියෙනවා. සමහර අය මම එයාලත් එක්ක ෆොටෝ එකක් ගත්තොත් with video king විරාජ් පෙරේරා කියලා කැප්ෂන් එකක් එක්ක තමයි ඒක ෆේස්බුක් දාන්නේ. ඒක මම කියලා දාගන්න එකක් නෙමෙයි. හැබැයි මම දැනට මියුසික් වීඩියෝ 184ක් විතර කරල තියෙනවා. ඔය කියන දේවල් නෙමෙයි විරාජ් දක්ෂයි කියලා අහන්නයි මම කැමැති.

විරාජ් ළඟදි ලැබුණු චිත්‍රපටයක් ප්‍රතික්ෂේප කළා කියලා ආරංචියි?

මට ප්‍රධාන චිත්‍රපටයක් ලැබුණා. නමුත් ඒක මට කරන්න බැරි වුණා. මොකද ඒ චිත්‍රපටයේ සෙක්ස් දර්ශන පිරිලා තිබුණා. පටන් ගන්න තැනදිම ඒ වගේ වැඩකින් පටන් ගන්න බෑ. ජනප්‍රිය වෙන්න අවශ්‍යතාවක් තිබුණා නම් මම ඒක භාරගෙන.

සරාගී දර්ශන නිසාමද එය ප්‍රතික්ෂේප කළේ?

මම ඒ වගේ දෙයක් කරන්න මැළිවෙන්නේ නැහැ. අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ වගේ අධ්‍යක්ෂවරයෙක්ගේ හොඳ නිර්මාණයකට ඒ වගේ දෙයක් කරන්න ප්‍රශ්නයක් නැහැ.

ඔය සීමා තියෙන්නේ නිර්මාණකරුවා මතද?

දැන් දුවන වැඩ සහ නොදුවන වැඩ කියලා තියෙනවනේ. හොඳ වැඩකට අතගහන්න කවුරු වුණත් කැමැතියි. මාත් ඒ වගේ.

විවාහකයි, පියෙක් කියන සාධක ඒ නිර්මාණකරුවන්ගේ වැඩවලදී බලපාන්නේ නැද්ද?

මම සිනමාවට මුලින්ම එද්දී හරි තැනකින් ආවා නම් හරි. වැරැදි තැනකින් ඇවිත් ඇන ගන්න මම කැමැති නැහැ. හැමෝම කැමැතියි චිත්‍රපටවල රඟපාන්න. මම මුල වරද්ද ගන්න කැමැති නැහැ. චරිතාංග නළුවෙක් වෙන්න ඕන වැඩක් කරන්න ඕන. ගැටලු කිහිපයක් නිසා ලැබිච්ච වැඩේ අතහැරියා. ලැබිච්ච වැඩේ අතහරින්න වුණ එක ගැන දුකයි.

ඊට පස්සේ සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද?

අලුත් චිත්‍රපටයේ වැඩ පටන් ගන්නවා මේ මාසේ අන්තිම. ‘රැහැයියෝ’ චිත්‍රපටය කරන්නේ උපයංග ශ්‍රී වික්‍රමසිංහ, ජනප්‍රිය රංගන ශිල්පින් ශිල්පිනියන් එක්ක මමත් එයට සම්බන්ධ වෙනවා.

මේ වෙද්දී සිනමාවෙ ප්‍රධාන ගමනක් යන්නේ රොෂාන් සහ හේමාල්. සිනමාවේ අවස්ථා ලැබුණ විරාජ්ට රොෂාන්, හේමාල් ගිය තැනට යන්න පුළුවන් වෙයිද?

මම උත්සාහ කරනවා, ඒ තැනට එහා යන්න. මගේ දෛවය කොහොම ලියැවෙයිද කියලා මම දන්නේ නැහැ. නමුත් මම දෛවය පරද්දනවා. ඔවුන්ට අභියෝගයක් වෙන්න මම උත්සාහ කරනවා. අඩුපාඩු ඇති. ඒවා හදාගෙන මම කොහොම හරි ෆයිට් කරනවා.

සමහර නාළිකාවලින් විරාජ්ට කැපිලි තියෙනව කියන්නේ ඇත්තද?

සමහර නාළිකා වලට මම තාම ගොඩවෙලා වත් නැහැ. දැන් නාළිකාවලින් නළු නිළියෝ බෙදාගෙන ඉන්නවනේ. නාළිකා කිහිපයක් මගේ ගමනට උදවු කරනවා. හැබැයි සමහර නාළිකා මට කිසිම දෙයකට ආරාධනා කරලා නැහැ.

සංවාදය – මව්බිම

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here