‘‘අපි නම් මොබයිල් ෆෝන් එකක් අතට ගත්තෙ ඒ ලෙවල්වලටත් ලියලා කාලයක් ගියාට පස්සෙ. දැන් ළමයි ඉපදෙද්දිම හොයන්නේ ෆෝන් එකනෙ”‍, පැළැන්තිකාරයන්ට පමණක් තිබුණු අති සුඛෝපභෝගී අවශ්‍යතාවක් ලෙස අප අතට ආ ජංගම දුරකථනය අද තිබෙනා තැන ගැන කියැවෙන්නට ඕනෑ සියල්ල අඩු ම වචන ගණනකින් කිව හැක්කේ එසේ යැයි සිතමි. එදා ඇමතුමක් ගන්නට, කෙටි පණිවුඩයක් යවන්නට විතරක් ම දැන සිටි ජංගම දුරකථනය අද නොදන්නා දෙයක් නැත. සැබෑව නම් අද ජංගම දුරකථනය නැතිව අපේ මිනිසුන්ට ජීවත් වන්නට අපහසු තරම් ය. හැමදේම ඇත්තේ එහි ය. ඇතැමකුට නිවසේ, සැමියාගේ, බිරියගේ දුරකතන අංක තබා තමන්ගේ අතැති දුරකථනයේ අංකය පවා මතක නැත. ‘අනේ මට මතක නැහැනෙ, මම ෆෝන් එකෙන් බලලා කියන්නද? ‘උත්තරය ඒක ය. හැමදේටම උත්තර ඇත්තේ එහි ය. කලකට පෙර මහ පාන්දරට මහ සද්දෙන් කෑ ගැසූ එලාම් ඔරලෝසු දැන් නැත; එලාම් එක තැබෙන්නේ දුරකතනයේ ය. කොයි වේලාවේ බැලු‍වත් දුරකතනයට මුහුණ ඔබා ගත් ගමන් ය. යන්නේ එන්නේ, කන්නේ, බොන්නේ සිහිය දුරකතනයේ තබාගෙන ය. හරි හැටිම කිවහොත් අද කොයි කවුරුත් සිටින්නේ දුරකතනයට ඇබ්බැහි වූවා සේ ය.

වැඩිහිටියන්ටත් වඩා ජංගම දුරකතනවලට ටැබ්, ලැප්ටොප් පරිගණකවලට ඇබ්බැහි වන බවක් පෙනෙන්නේ පාසැල් යන වයසේ දරුවන් ය. දරුවන්ට ඩිජිටල් ලෝකය හුරුවන්නේ කුසේ සිටිනා සමයේ සිට ම ය. අම්මා සැම විටම ජංගම දුරකතන තිරයක් හෝ වෙනත් ඩිජිටල් තිරයක් දෙස බලා සිටින්නේ නම් කුසේ වැඩෙනා දරුවාට එයින් බලපෑමක් ඇතිවීම පුදුමයක් නොවේ. අම්මා ඩිජිටල් තිර වල දිවෙන බිහිසුණු දර්ශන, අධික ශබ්දවලට හුරුවී සිටින්නේ නම් එය දරුවාගේ මොළයේ වර්ධනයට සැලකිය යුතු තරමින් බලපෑම් ඇති කරයි. අලු‍ත් අම්මලාට දරුවන් නළවා ගන්නට උදව් කරන්නේ ද මේ ඩිජිටල් තිරය ම ය.ටැබ් එකට හෝ දුරකතනයට කාටූන් හෝ යූ ටියුබ් වීඩියෝවක් දමා දෙන අම්මා තමන්ගේ වැඩ ටික කරගන්නීය. ටික කලක් ගතවෙද්දී දරුවා අම්මාට වඩා ඩිජිටල් තිරයට හුරු වන්නේ ය. ඩිජිටල් තිරයක කාටුන් නැරඹීම කුඩා දරුවන්ට හිතකර වන්නේ නැත. කාටුන්වල වැඩිපුර ඇත්තේ රතු, කළු, සහ දම් පැහැයයි. ඩිජිටල් තිරයේදී මේ වර්ණ ඉතා ඉක්මනින් වෙනස් වේ. මේ වෙනස් වීම කුඩා දරුවන්ගේ මොළයට හානිකරය. මොළයේ රසායනික ක්‍රියාකාරීත්වයට සේ ම නියුරෝනවල ක්‍රියාකාරීත්වයට ද මේ වර්ණ වෙනස් වීම දැඩි බලපෑමක් ඇති කරන බව තහවුරු වී ඇත. මේ බලපෑම දරුවාගේ මතකයට බලපෑමක් සිදුකරන අතර එය අධ්‍යාපනයට අැති කරන්නේ අහිතකර බලපෑමක් බව අමුතුවෙන් කිවයුතු ද? උපදින්නටත් පෙර සිට ම ඩිජිටල් තිරයට හුරුවන දරුවන්ට වයස අවුරුදු දෙකහමාරක් පමණ යන තුරු නිසි ලෙස කතා කරගන්නට නොහැකි තත්ත්වයට පත්වන්නට ඉඩ තිබේ.මොළයේ නිසි වර්ධනයට උපකාරීවන ත්‍රිමාන ස්පර්ශය සහ ත්‍රිමාන දෘෂ්ටිය දුර්වල කරවීමට ද ඩිජිටල් තිරයක් මත ඇති ක්‍රියාකාරීත්වය හේතු වෙයි. වයස අවුරුදු තුනක පමණ වන තුරු ශීඝ්‍රයෙන් වැඩෙන මොළය, අතිදක්ෂ ක්‍රියාකාරීත්වයකට පත් කරන්නේ තමා අවට අවකාශය පිළිබඳ ව දරුවා ඇති කරවා ගන්නා සංවේදනය යි. ඩිජිටල් තිරයකට සිය දෑස හුරු කරගන්නා දරුවකු තමන් අවට පරිසරයට, අවකාශයට සංවේදී වෙතැයි සිතන්නට බැරිය. අලු‍තෙන් සිතන්නට, අත්හදා බැලීම් කරන්නට, තනිව උගනින්නට දරුවන්ට හුරු කරවන අවකාශයට සංවේදී වීම දරුවනට හුරු අත්දැකීමක් කරන්නට සියල්ල සැණින් දෑස් මානයට ගෙන එන නවීන උපාංග සමත් ය. තමන් කරනා වැඩය ගැන අවධානයෙන් කටයුතු නොකරනා දරුවන් බිහිවන්නේ ද මේ ඩිජිටල් ඇබ්බැහිය නිසා ම ය. මොළය සැදුම් ලත් නියුරෝන එක් එක් කාර්යයන්ට හැඩ නොගැසී නොයෙක් නොයෙක් කාර්යයන්ට විටින් විට යොමු වීම නිසා දරුවන්ට එක ම කාර්යයක සැලකිය යුතු තරම් කාලයක් නිරත වන්නට තරම් හැකියාවක් නැත. ඔවුන්ගේ අවධානය නිතර වෙනස් වෙයි. ‘ඩිජිටල් ආතතිය‘ ලෙසින් හඳුනා ගන්නා මේ තත්ත්වය අද වන විට ඉතා සුලබ ය.

මානසික ක්‍රියාකාරීත්වයට සේ ම ශාරීරික ක්‍රියාකාරීත්වයට ද මේ ඇබ්බැහිවීම ඇති කරවන්නේ අහිතකර ප්‍රතිඵල ම ය. අක්මාවේ ස්ථුලතාව ඇති කරවන රුධිරයේ කොටිසෝල් සාන්ද්‍රණය වැඩි කරවන්නට ද මේ ඩිජිටල් තිරයේ බැලපෑම හේතු වෙයි. දරුවාගේ ආහාර පුරුදු වෙනස් කරවීමට ද මේ ඩිජිටල් ඇබ්බැහිය හේතු වන අතර ‘කන්නේ මොනවාදැයි නොදැන ඔහේ කා දැමීමට‘ දරුවන් හුරු වන බව පෙනේ. කලකට පෙර වත්තේ පිටියේ සිටින කුරුල්ලන්, ලේනුන් පෙන්වා දරුවාට කෑම කැවූ අම්මලා වෙනුවට අද සිටින්නේ ටැබ් එක අතට දී කෑම කවන අම්මලා ය. ඒ නිසා දරුවන් ‘කන්නේ මොනවාදැයි නොදැන‘ කෑමේ අරුමයක් ද නැත. කාර්ය බහුල අම්මලාගේ හොඳ ම උදව්කාරයා වී ඇති ඩිජිටල් තිරයට දරුවන් හුරු වීම හුදු දරුවන්ගේ වරදක් ම නොවන්නේ ඒ නිසා ය.

සැබෑ ලෝකය දෙස නොබලා සිටින්නට මිනිසුන් හුරු කරවන මේ ඩිජිටල් ලෝකය මිනිසාටම පමණක් ලැබී ඇති සිතා බලා තීරණ ගෙන කටයුතු කිරීමේ හැකියාව ද මොට කරමින් තිබෙන්නේ ය.මොළයේ ක්‍රියාකාරීත්වය සෑහෙන තරම් දුරට අඩපණ කිරීමට සමත් මේ මායා තිරය මිනිසුන් හුරු කරවන්නේ අද්භූතබව, ත්‍රාසය පිරි සැබෑ ලෝකයට වඩා බොහෝ දුරින් ඇති ලෝකයක් ඇසුරු කරන්නටය. තර්කානුකූලව සිතීමේ හැකියාව මොට කරවන මේ මායා තිරය හුදු විනෝදය , අලංකාරය පිරි ලෝකයකට අපේ මිනිසුන්ව කැඳවාගෙන යන්නේ ඔවුන්ටත් නොදැනී ම ය. මායාවන්, විජ්ජාවන් පිරි ලෝකවලින් සැදුම්ලත් ඩිජිටල් ලෝකය සියල්ල සැණින් විසඳා දෙන ප්‍රශ්න, ගැටලු‍ නැති ලෝකයක් දෑස් ඉදිරියේ මවන්නේය. නිතර නිතර ඩිජිටල් තිරයට නිරාවරණය වන එනම් ඩිජිටල් උත්තේජනයට ලක් වන විට ඕනෑම පුද්ගලයකුගේ ආපදාවලට සම්බන්ධ මොළයේ ක්‍රියාකාරීත්වය තීව්‍ර කරවයි. ඩිජිටල් ක්‍රීඩා වැනි එක ම ක්‍රියාකාරකමක් නිතර නිතර සිදු කිරීමේදී මොළයට ලැබෙන්නේ එකම ආකාරයේ ආවේගකර උත්තේජනයකි. මෙසේ දිගින් දිගට ම ලැබෙන ආවේගකර උත්තේජනය මොළය සලකන්නේ ආපදා තත්ත්වයක් හෙවත් අනතුරුදායක තත්ත්වයක් ලෙසයි. එවිට පය ලෙස්සා ගිය විට හෝ තදින් රත්වූ දෙයක් ස්පර්ශ වූ විට මොළයට ලැබෙන සංවේදනයට සමාන සංවේදනයක් මොළය විසින් හඳුනා ගනු ලබන අතර මොළය එ් සංවේදනයට ඉක්මන් ප්‍රතිචාර දක්වයි. නිතර ඩිජිටල් තිරයට නිරාවරණය වෙමින් ඩිජිටල් ක්‍රීඩාවල යෙදෙන දරුවන් හොඳින් නිරීක්ෂණය කළහොත් ඔවුන්ගේ හැසිරීමේ වෙනස හඳුනාගත හැකිය, ඔවුන් ඇවිදින්නේ ලිස්සා යන්නක් මෙනි, නිතර සිටින්නේ කලබලයෙනි,තමන් කරනා කටයුත්ත ගැන නිසි අවධානයක් සහ වැටහීමක් ඔවුන්ට නැත. එසේ සිදුවන්නේ එම ඩිජිටල් තිරයන් තුළින් මොළයට ලැබෙන පණිවුඩ සැම විටම පාහේ යථාර්ථය නොවන පණිවුඩ වීමයි. මොළය මෙවැනි අසාමාන්‍ය ප්‍රතිචාර දක්වන්නේ ඇබ්බැහි වීමක දී ය. මේ ඩිජිටල් ඇබ්බැහිවීම මත්කුඩුවලට ඇබ්බැහිවීමට සමාන වන්නේ ඒ නිසා ය. මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය සිදුවන්නේ සිතා මතා සැලසුම් කිරීමෙන් වුවත් මේ ඩිජිටල් ඇබ්බැහිය මොළයට සිතා මතා තීරණ ගෙන කටයුතු කිරීමේ හැකියාව සේ ම අවධානයෙන් එකම කටයුත්තක නිරත වීම පවා අවහිර කරවයි. දරුවන්ගේ මොළය ඉතා ඉක්මනින් වැඩෙන නිසා සහ වැඩි ක්‍රියාකාරීත්වයකින් යුතු වන නිසා ඩිජිටල් තිරයේන් ඇතිවන බලපෑමට ඉතා ඉක්මනින් ගොදුරු වෙයි.

ඩිජිටල් අධිභාවිතය නිසා ප්‍රතිචාර දැක්වීම් වලට ලක්වූ තැනැත්තන් එදිනෙදා ජීවිතය ගත කරන්නේ තමන් ගැන හෝ අවට ගැන කිසිදු සැලකිල්ලක් නොමැති ව ය. යම් කටයුත්තක යෙදෙන විට ඔහු ඒ කටයුත්ත පටන් ගන්නා තැන දන්නේ නැත, අවසන් වන තැන දන්නේ නැත. කරන්නට ඇති, නැති දේ ගැන කිසිදු සැලසුමක් ද නැත. ඇතැම්විට ඉටු කරගත යුතු අරමුණට වුවමනාවට වඩා බලය වැය කරයි, ඒ ඔහු ඩිජිටල් ඇබ්බැහිය නිසා පත්වූ තත්වයේ අනිටු විපාකයකි. තනිව ජීවත්වන්න්ට වැඩි කැමැත්තක් දක්වන මෙවැන්නන්, තමන් අවට සිටිනා අයවලු‍න් ගැන කිසිදු තැකීමක් කරන්නේ නැත. සරල වචනයෙන් කාටත් වැඩක් නැති ‘පාවෙන ජීවිත‘ කියා කියැවෙන්නේ ද ඩිජිටල් ඇබ්බැහියක අනිටු විපාකවලින් දැඩි බලපෑමට ලක් වී සිටිනා විටදී ය. ඉලක්කයක් නැති ජීවිත ගත කරන මේ අය අනාගතයේ කුමක් වේදැයි කල්පනා කරන්නට තරම් ක්‍රියාකාරී ද නැත. වැඩිහිටි පුද්ගලයන්ට වඩා දරුවන් තුළ ඇති මෙවැනි ලක්ෂණ හඳුනා ගැනීම පහසු ය. ඩිජිටල් ඇබ්බැහිය නිසා මොළය අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයකට ලක් වූ දරුවන් ඉගෙනීමේ කටයුතු ගැන කිසිදු තැකීමක් කරන්නේ නැත. ‘මම හොඳට පාඩම් කරලා විභාගෙ පාස් වෙන්න ඕන, හොඳට ලකුණු ගත්තොත් මට තෑග්ගකුත් හම්බවෙයි‘ වැනි වූ සිතිවිලිවලට මෙවැනි දරුවන්ගේ මනසෙහි ඉඩක් නැත. අන්තර්ජාලය සහ ඩිජිටල් තිර යොදා ගනිමින් ඉගෙනීම් කටයුතුවලට දරුවන් නැඹුරු කරවීම ඇති කරන්නේ ද ඩිජිටල් ඇබ්බැහියම බව ද මතක තබා ගැනීම වටින්නේ ය.

තිරයේ පෙනෙන දෑ නිසා මොළයේ ඇතිවන උත්තේජනය එකිනෙකට වෙනස් වන නමුත් දරුවකුට ඩිජිටල් තිරයක් දෙස බලා අධ්‍යාපන කටයුතුවල නියැළීමට ඉඩ හැරීමෙන් දරුවන්ට අධ්‍යාපනික කරුණු මතකයේ රඳවා ගැනීමේ හැකියාව අඩු වී යන බවද පෙනී ගොස් ඇත. විශේෂයෙන් ම නොකඩවා විනාඩි 25ක් ඩිජිටල් තිරයක් දෙස බලා සිටීමෙන් මොළයේ නියුරෝනවල ක්‍රියාත්මක වීමේ වෙනසක් සිදු වන අතර දිගින් දිගටම එසේ සිදුවීම මොළයට අධික ලෙස අහිතකර බලපෑම් ඇති කරයි. දරුවකුට ඩිජිටල් විවේකය අත්‍යවශ්‍ය ය. පොදු නිර්දේශය වන්නේ දරුවකු ඩිජිටල් තිරයකට නිරාවරණය විය යුත්තේ දින දෙකකට වතාවක් විනාඩි 30ක කාලයක් සඳහා පමණක් වන බවයි. මේ විනාඩි 30ක කාලය නොකඩවා ගතවීමට ඉඩදෙනවාට වඩා විවේකයක් සහිතව ලබාදීම වඩාත් උචිත ය.

දරුවන්ට සේ ම වැඩිහිටියන්ට ද ඩිජිටල් තිරවලට නිරාවරණය වීම ඇති කරවන්නේ අහිතකර බලපෑම් ය. අද බොහෝදෙනා තම ජංගම දුරකතනය හෝ ටැබ් එක තබා ගන්නේ තම නිදන ඇඳේ හෝ ඒ අසල ය. මේ වනවිට සිදුකර ඇති අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ සවස 6න් පසු මෙවැනි ඩිජිටල් තිරයන්ට නිරාවරණය වීම මොළයේ ක්‍රියාකරීත්වයට ඉතා ම අහිතකර සේම එනිසාම ශාරීරයට ද අහිතකර බලපෑම ඇති කරනා බවයි. අඳුර මොළය විවේක ගැන්වීමේ ක්‍රියාවලියට උත්තේජනයක වන නමුත් මේ ඩිජිටල් ආලෝකය එ් සාමාන්‍ය ක්‍රියාව අඩපණ කරයි. ඩිජිටල් ඇබ්බැහිය නිසා අපට අහිමි වී යන, නමුත් අපිට අත්‍යවශ්‍යම දේ නින්ද ය. නින්ද මොළයේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් බවට පත් කිරීමට ඉටු කරනා කාර්ය විශේෂ ය. කාලයක් තිස්සේ අඳුරේදී දුරකතන හෝ ටැබ් තිරයක් දෙස බලා සිටීමට හුරු වීමෙන් නින්ද අඩු වී යන අතර, මතක ශක්තිය දුර්වල වී යෑම ද සිදු වේ. එසේම ශරීරය මුහුණපානා අනතුරකදී ක්‍රියාත්මක වන ඇඩ්‍රිනලීන් හෝර්මෝනයේ සහ එය නවතාලන නොඇඩ්‍රිනලීන් හෝර්මෝනයේ ක්‍රියාකාරීත්වය අක්‍රමවත් කිරීමට ද මෙය හේතු වේ. නිතර ඇතිවන වෙහෙසකර බව, අලසකම, අවධානය අඩුවීම, හුදෙකලාව සිටීමට ඇති දැඩි කැමැත්ත, යමක් අවබෝධකර ගැනීමේ හැකියාව අඩු වීම වැනි දේ ඩිජිටල් ඇබ්බැහිවීම් වල අහිතකර ප්‍රතිඵල ය.

මේ අපටත් නොපෙනී තාක්ෂණය අපේ ජීවිත වෙනස් කර ඇති තරම ය.තාක්ෂණය අතැර අපිට ඉදිරියට යා නොහැකි බව සැබෑවකි. තාක්ෂණයට ඇබ්බැහි විය යුතු බවක් ඉන් කියැවෙන්නේ ද නැත. එනිසා සිතන්න, අපව අසාමාන්‍ය මිනිසුන් කරවන්නට හේතුවක් වන තාක්ෂණය අප තබාගත යුත්තේ අතේ දුරින් නොවේ ද?

තොරතුරු – වෛද්‍ය ලලිත් මෙන්ඩිස්

අධ්‍යක්ෂ – අනුවේගී ශික්ෂණ මධ්‍යස්ථානය

  • කුඩා දරුවන්ගේ මොළයට හානිකරයි
    තර්කානුකූලව සිතීමේ හැකියාව මොට කරයි
    මතක ශක්තිය දුර්වල වෙයි
    මත්කුඩු වලට ඇබ්බැහි වුණා වගෙයි
    නින්ද අහිමි කරයි
    හැඟීම් දැනීම් නැති කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here