රටක දේශපාලන තලයෙහි විවිධ කාලවලදී විවිධ රැළි මතුවිය හැකිය. මේ ආකාරයට විවිධ රැළි ඇති වන්නේ ලබාගත් බලය තහවුරු කරගන්නට යෑමේදී පමණක්ම නොවේ. බොහෝවිට එවැනි රැළි ඇතිකරන්නේ පවත්නා බලයට අභියෝග කරන්නට ය. ඇතැම් විට එක් එක් දේශපාලන කණ්ඩායම්හි අභ්‍යන්තරයේ පවත්නා අර්බුද හා ගැටලූ මහජනතාවගෙන් වසන් කිරීමේ කූඨ උපාය මාර්ගයක් වශයෙන් ද එවැනි තත්වයන් නිර්මාණය කරලිය හැකිය.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාට සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීම සඳහා බාධාවක් නැතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළකර ඇති අදහස ද සලකා බැලිය යුත්තේ පෙර සඳහන් සන්දර්භය මත පිහිටාය. නිසැක වශයෙන්ම ජී.එල්. පීරිස් මහතාගේ එකී අදහස පවත්නා දේශපාලන තත්වය තුළ නිර්මාණය කර ඇති අලූත් මතවාදී රැල්ලක් ලෙස සැලකිය හැකිය. ඇතැමුන්ට අනුව එය අද වනවිට පොදුජන පෙරමුණ තුළ හෙවත් පොහොට්ටුවේ කණ්ඩායම් අභ්‍යන්තරයෙහි පැන නැගී ඇති යම් යම් මතභේදාත්මක තත්වයන් මහජන අවධානයෙන් දුරස් කරලීම සඳහා ගෙන ඇති උපායමාර්ගික උත්සාහයක් ලෙස ද සැලකිය හැකිය. අද වනවිට සමාජයේ බොහෝ දෙනෙක් කීත් නොයාර් සිදුවීම ගැන කතාකරන්නේ නැත.

විශේෂයෙන්ම එම සිදුවීමට අදාළව රහස් පොලිසිය හිටපු ජනාධිපතිවරයාගෙන් ලබාගත් ප‍්‍රකාශයේ දී ඔහුගේ අමතකවීම් පිළිබඳව සිදුවිය යුතුව ඇති මහජන අවධානය ද ඒ තුළ අවම කර තිබේ. සත්‍යවශයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට එවැනි අමතක වීමේ ස්වභාවයක් පවතින්නේ නම් එය කිසිසේත්ම අවධානයට යොමු නොකළ යුතුව ඇති තත්වයක් නොවේ. මක්නිසාද යත් එමගින් ගම්‍ය වන්නේ අද වනවිට ඔහුගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්වය වන නිසාය. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ අපේක්ෂක වුවමනාව හා ඊට අදාළව එකී පක්ෂ අභ්‍යන්තරයේ විවිධ විරෝධතා පිළිබඳව ද අද බොහෝ දෙනෙකුට අමතක වී තිබේ. එහෙත් අද වනවිට අප රටේ දේශපාලනයට සම්බන්ධ බොහෝ පාර්ශ්ව මෙන්ම සාමාන්‍ය ජනතාවගේ අවධානයට ලක්ව ඇති මාතෘකාවක් වී ඇත්තේ දෙවරක් ජනාධිපතිධුරයේ කටයුතු කර ඇති හිටපු ජනාධිපතිවරයන්ට නැවත වතාවක් ජනාධිපතිධුරය සඳහා තරග කරන්නට හැකියාවක් ඇත්ද යන්න පිළිබඳව වන කාරණයට ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රටේ ප‍්‍රමුඛතම හා උත්තරීතරම නීතිය වන තත්වයක් තුළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති විධිවිධානයන් පිළිබඳව කිසිවෙකුට හෝ ප‍්‍රශ්න කිරීමට හා අභියෝග කිරීමට නොහැකි වුවත් ජී.එල්. පීරිස් මහතාගේ සහ ඔහු අයත් වන දේශපාලන කඳවුර විසින් නිර්මාණය කර ඇති මෙම අදහස තර්කානුකූල හා පැහැදිළි අවසානයක් කරා ගෙන යා යුතුව තිබේ. ඒ අන්කිසි හේතුවක් නිසා නොවේ. රටක උත්තරීතර නීතියේ කණෙන් රිංගා යාමට කිසිදු ජගතෙකුට හෝ ඉඩක් නොතිබිය යුතුව ඇති නිසාය. එවැනි ඕනෑම උත්සාහයකදී සිදුවිය හැකි ව්‍යවස්ථාමය කුමන්ත‍්‍රණයකින් හෝ ඊට අටවන යටි උගුල් වලින් සමස්ත ජනතාවටම සිදුවිය හැකි බරපතළ හානියෙන් මුදවා ගැනීමට නම් නොපමාවම ඒ පිළිබඳ නිශ්චිත හා පැහැදිළි නිගමනයක් කරා යොමුවිය යුතුව ඇති නිසාය.

එහිදී අප ප‍්‍රථමයෙන්ම අවධානය යොමුකළ යුතුව ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කෙරෙහිය. එහිදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 04 දෙවන ව්‍යවස්ථාවේ ඉතාමත් පැහැදිළි ලෙස මෙසේ සඳහන් වේ. “ජනතාව විසින් ජනාධිපතිධුරයට දෙවරක් පත්කරනු ලැබූ තැනැත්තෙකු ජනතාව විසින් නැවත එකී ධුරය සඳහා තෝරාපත්කර ගැනීමට සුදුස්සෙක් නොවන්නේය” එම වගන්තිය තුළ සැකයට තුඩු දෙන හෝ කෙස් පැලෙන තර්ක ගෙනහැර පාමින් අර්ථ නිරූපණය කරගත යුතුව ඇති කිසිදු කාරණයක් හෝ වදනක් දැකිය නොහැකිය. එවැනි තත්වයක් තුළ පවා ඇතැමුන් සඳහන් කරන්නේ මෙකී පැනවීම අදාළ ව්‍යවස්ථා සංශෝධනය සිදුකළ දින සිට ඉදිරියට අදාළ වන්නක් මිසක අතීතයට බලපාන්නක් වියනොහැකි වන බවය. එහෙත් ඒ සඳහා ද අප රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිළි පිළිතුරක් මේ වනවිටත් ලබා දී තිබේ. ඒ අග‍්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට අදාළව විධායක ජනාධිපතිවරයාට ඇති අභිමත බලය පිළිබඳ කාරණයට අදාළවය. එමෙන්ම ජනමාධ්‍ය හරහා සිදුකරන අදහස් දැක්වීම් වලදී ද මීට අදාළව මතුකරන තවත් තර්කයක් ද දැකගත හැකිය. එනම් 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇත්තේ අලූත් විධායක ජනාධිපති ධුරයක් වන නිසා ඊට අදාළව 19 වන සංශෝධනයේ 04 වන ව්‍යවස්ථාව බලාත්මක වන නමුත් එය අතීතයට ගලපා ගැනීමට නොහැකිය යන්න ය. එය එසේ යැයි උපකල්පනය කරන්නට නම් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ඒ යටතේ වර්තමාන ජනාධිපතිවරයා නැවත දිවුරුමක් දී සිටිය යුතුය. ඒ අර්ථයෙන් සලකා බැලීමේදී ද ශිෂ්ට සම්පන්න ප‍්‍රජාතන්ත‍්‍රික මූලධර්මයන්ට අනුගතව සලකා බැලූව ද යම් නීතිමය තත්වයක් කාලවකවානු මත දෙපාර්ශවයකට දෙයාකාරයකින් ප‍්‍රතිපාදන සලසනු ඇතැයි විශ්වාසයක් ඇතිකර ගැනීම පවා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මෙන්ම සමාජ යුක්තියෙහි පැවැත්මට හිතකර වන්නේ නැත.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් දෙවරක්ම ජනාධිපතිධුරයේ කටයුතු කර තිබියදීත් තෙවැනි වතාවට ද ජනපතිධුරය සඳහා ජනවරමක් ඉල්ලා සිටිය හැකිය යන ජී.එල්. පීරිස් මහතාගේ අභිලාෂයට ශේෂ්ඨාධිකරණයෙන් ද අර්ථ නිරූපණයක් ලබාගැනීමට ඔහු තුළ පවත්නා අදහස පිළිබඳව කිසිවෙකු කලබල වියයුතු නැත. එහෙත් මෙකී කරුණටම යම්තාක් දුරකට සම්බන්ධ වන, ඒ අනුව ගැඹුරින් අවධානය යොමුකළයුතු වැදගත් කරුණක් ද තිබේ. ඒ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකුට ඉදිරි ජනාධිපතිවරණයක දී අපේක්ෂකයෙකු ලෙස තරග කළ නොහැකි ද යන කාරණයට ය.

ඒ පිළිබඳව සැලකීමේදී ඊට අදාළ ප‍්‍රතිපාදන ඇතුළත් වන්නේ ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ ය. ඒ අනුව 19 වන ව්‍යවස්ථාවෙන් සංශෝධිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 91.1 (ඈ) අනු ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රිධුරයක් දැරීමට නුසුදුස්සෙක් ලෙස “වෙනත් රටක ද පුරවැසියෙකු වන ශ‍්‍රී ලංකාවේ පුරවැසියෙකු යනුවෙන් එකතු කිරීමක් සිදුකර ඇත” එමෙන්ම ජනාධිපතිවරයෙකු වශයෙන් තෝරා පත්කර ගැනීමට නුසුදුසුකම් දක්වන 92 වන ව්‍යවස්ථාව මගින් ද පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු ලෙස තෝරා පත්කර ගැනීමට නුසුදුස්සෙකු නොවේ නම් ජනාධිපතිවරයෙකු ලෙස තෝරා පත්කර ගැනීමට සුදුස්සෙක් වන්නේ යැයි ද දක්වා තිබේ. ඒ අනුව සලකා බැලීමේදී ඉතා පැහැදිළි ලෙස 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපතිවරණයක් සඳහා තරග කිරීමට කිසිසේත්ම නොහැකිය.

එහෙත් එවැනි පැහැදිළි පසුබිමක් තුළ පවා කිසියම් වූ කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළකට අනුගතව අවශ්‍ය නම් යම්කිසි පිරිසකට ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයකට යොමුවීමට ඉඩකඩක් ද පවතින බව පෙනෙන්නට තිබේ. එහිදී ඉතා පැහැදිළිවම තේරුම්ගත යුතුව ඇති වැදගත්ම කරුණ වන්නේ ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක දී බලාත්මක නීතිය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳව පනත වන බවයි. ඒවායෙහි ප‍්‍රතිපාදන තුළ වුවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට හෝ මැතිවරණ කොමිෂන් සභාවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අදාළව අර්ථ නිරූපණය කිරීමේ බලයක් නොමැතිවීම තුළ 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ පනතට මුවා වී අවශ්‍ය නම් ඇතැම් වැදගත් විධිවිධානයන්ගෙන් තාවකාලික ලෙස මගහැර සිටීමට ද හැකියාවක් තිබේ. එය මේ රටේ කිසිවෙකුට කිසිසේත්ම මගහැර ඉවත බලාගෙන සිටිය හැකි තත්වයක් නොවේ.

ඒ බව තේරුම්ගැනීමට නම් අවධානයට යොමුවියයුතුව ඇති පැතිකඩක් තිබේ. එනම් එම පනතට අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනාවක් ඉදිරිපත් කළයුත්තේ මැතිවරණ කොමසාරිස් (මැතිවරණ කොමිසමේ සභාපති) වෙතය. එහිදී විරෝධතා දැක්වීම පිළිබඳව 14.1 වගන්තියෙන් කරුණු දක්වා තිබේ. ඒ අනුව විරෝධතා දැක්වීමක දී පදනම් කරගතයුතුව ඇති කරුණු තුනක් තිබේ. එනම් ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීම සඳහා එම අපේක්ෂකයා සුදුසුකම් ලබා නොමැති බව නාමයෝජනා පත‍්‍රයේ අඩංගු කරුණු වලින් පැහැදිළි වීම, දූෂණ ක‍්‍රියාවකට හෝ නීති විරෝධි ක‍්‍රියාවකට වරද කරු වී ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නුසුදුසු වී ඇති බව හා ප‍්‍රජා අයිතිය අහිමි පුද්ගලයෙක් වීම යනාදිය යි. ඒ තුළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, ජනාධිපතිවරණයක දී නාමයෝජනාවක් ප‍්‍රතික්ෂේප කරන්නේ නම් ඒ සඳහා පදනම් කරගත යුත්තේ ඉහත සඳහන් කරුණු තුනය.

ඒ අනුව මතුවන පැහැදිළි ප‍්‍රශ්නයක් තිබේ. එනම් දිවිත්ව පුරවැසියෙකු ලෙස සැලකෙන පුද්ගලයෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින අවස්ථාවක මැතිවණ කොමිසමේ සභාපතිවරයා ඒ බව තහවුරු කරගැනීමට හා ඒ සඳහා වන බැඳීමකට තමන් යටත් බව තේරුම් ගන්නේ කුමන පදනමක් මත ද යන්න යි. එය එසේ වන්නේ කරුණු කිහිපයක්ම ඒ තුළ අපැහැදිළි නිසාය. ඉන් ප‍්‍රධානතම හා වැදගත්ම කරුණ වන්නේ ජනාධිපතිවරණයක දී නාමයෝජනා පත‍්‍රයක් ඉදිරිපත් කරන අපේක්ෂකයෙකු වෙනත් රටක පුරවැසියෙකු වන්නේ ද නැද්ද යන ප‍්‍රශ්නය අදාළ නාම යෝජනා පත‍්‍රයෙහි විමසා නොතිබෙන්නේ නම්, ඒ බව නාමයෝජනා පත‍්‍රයෙහි අන්තර්ගත කරුණු වලින් පැහැදිළි කරගන්නේ කෙසේද යන ප‍්‍රශ්නයට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද මුහුණදීමට ඉඩක් ඇති නිසාය. නියත වශයෙන්ම දැනට වලංගු ජනාධිපතිවරණ නාමයෝජනා පත‍්‍රයේ ආකෘතිය වන මැතිවරණ පනතේ පළමුවන උප ලේඛනය අනුව එවැනි පැහැදිළි කිරීමක් අඩංගු වී නොමැත. එහි අන්තර්ගත වන්නේ නුසුදුසුකම් ගැනය. නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වීමේ දී ඇති නුසුදුසුකම් අදාළ ආකෘති පත‍්‍රයේ පැහැදිළි ලෙස අන්තර්ගත කර නැත.

ඒ අනුව කිසියම් කූට අරමුණකින් කටයුතු කිරීමේ චේතනාවකින් යුත් මැතිවරණ කොමිසමේ සභාපතිත්වය දරන ඕනෑම අයෙකුට මෙන්ම රටේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරණයට අදාළව පනවා ඇති නුසුදුසුකම් හා සුදුසුකම් පිළිබඳව කරුණු වසන් කිරීමට සූදානම් වන අපේක්ෂකයෙකුට ද මෙම පසුබිමට මුවා වී වංචනික ලෙස ක‍්‍රියා කිරීමට අවස්ථාවක් උදාකරගත හැකිය. එහෙත් රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ගරුත්වයක් ඇති වගකීමකින් හා නීතිගරුක ලෙස කටයුතු කරන කිසිදු පුද්ගලයෙක් එවැන්නකට නොපෙළඹිය හැකි වුවත්, එසේ නොවන ඕනෑම කෙනෙකුට මෙවැනි හිඩැසක් තුළ අවශ්‍ය නම් තම කූඨ අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා නීතියෙන් ද ගැලවී ක‍්‍රියාකිරීමට ඉඩක් විවර කර තිබේ.

යුක්තිය හා සාධාරණත්වය අපේක්ෂා කරන නීතිගරුක සෑම පුරවැසියෙක් මෙන්ම වත්මන් මැතිවරණ කොමිෂන් සභාව ද මේ පිළිබඳව තම දැඩි අවධානය යොමුකළ යුතුව ඇත්තේ ඒ නිසාය. මක්නිසාද යත් බලය උදෙසා ඕනෑම දෙයක් සිදුකිරීමට ද ඇති සම්භාවිතාව සලකා බැලීමේදී මෙවැනි සිදුරු වසා දැමීම සඳහා අත්‍යවශ්‍යයෙන්ම දැනුවත්භාවයකින් කටයුතු කළ යුතුව ඇති නිසාය. ජනාධිපතිවරණයකදී අපේක්ෂකයෙකු සතුවිය යුතු සුදුසුකම් හා නුසුදුසුකම් පිළිබඳව සමාජය තුළ දැන් පවත්නා සංවාදය මේ රටේ වගකිව යුත්තන් සුබවාදී ලෙස බාරගත යුතුව ඇත්තේ එබැවිනි. ඒ තුළ මැතිවරණ කොමිසමට හිමිවන වගකීම අතිමහත් ය. එහිදි ඔවුන්ගේ ප‍්‍රථම වගකීම වන්නේ ඒ පිළිබඳව තමන්ට ක‍්‍රියාකළ හැකි නීතිමය රාමුව රටට පැහැදිළි කිරීමය. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද පැහැදිළි කරගත යුතුව ඇති හෝ ව්‍යවස්ථාවට අදාළව ලබාගතයුතු අර්ථ නිරූපණයන් වේ නම් එය ලබාගැනීම සඳහා ද නොපමාව මැදිහත් වීම ඔවුන්ගේ වගකීමක් වන්නේ ඒ නිසාය.

සුනිල් ජයසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here