සංහිඳියාව කියන වචනයට අපහාස කරමින් ෆෙඩරල් සංහිඳියාව කියා උපහාසයට ලක් කරන පිරිසට අනාගතයේ කිසියම් දිනෙක නැවතත් හඬන්නට සිදු වනු ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මෙරට බොහෝ පිරිස් ජාතික සමඟිය අඩුවෙන් තක්සේරු කිරීම ජාතිය හමුවේ ඇති ඛේදවාචකයක් බව ජනපති කියයි.

ජාතියේ අනාගත න්‍යාය පත්‍රය තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රවලට සම කරන්නට එපා යැයි තමන් ඉල්ලා සිටින බව පැවසූ ජනාධිපතිවරයා බලය ලබාගන්නට සියල්ලට ප්‍රථමයෙන් රටක් තිබිය යුතු බවත් ලබාගත් බලය පවත්වා ගන්නට නම් රට තුළ ජාතික සංහිඳියාව තිබිය යුතු බවත් පෙන්වා දෙයි.

ජාතික සමඟිය හා සංහිඳියාව සඳහා වන කාර්යාංශය සංවිධානය කළ එධ්ව්ට්ඉ අපේක්ෂාවේ පිය සැරිය කලා මහෝත්සව මාලාවේ සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (13දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

සංහිඳියාව ගොඩනැඟීම උදෙසා කැපවීම් කළ සුවිශේෂී කලාකරුවන් තිදෙනකු සඳහා සංහිඳියාව වෙනුවෙන් විශිෂ්ටත්වයේ සම්මාන පිරි නමනු ලැබී්‍ය.
එන්. මරිය සවේරි පියතුමා, මහාචාර්ය සින්නයියා මවුනගුරු, පරාක්‍රම නිරිඇල්ල යන මහත්වරු එම සම්මානවලට හිමිකම් කීහ.

ජාතික සංහිඳියාව සහ සමඟිය ගොඩනැඟීම සඳහා යෝජිත ප්‍රතිපත්ති ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය. විවිධ සංස්කෘතීන්ට අයත් නර්තන විලාසිතාවලින් උත්සවය අලංකාරවත් විය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.
සංහිඳියාවේ කලා උළෙලේ සමාප්ති උත්සවය ඇමැතීමට ලැබීම පිළිබඳ මම ඉතාම සතුටට පත් වෙනවා. මීට වසර කිහිපයකට පෙරාතුව අපි විසින් කළ යුතුව තිබූ කාර්යයන් පසුවී හෝ කරන බවයි පෙනී යන්නේ. අපේ රටේ දීර්ඝකාලීනව තිබූ යුද්ධය පිළිබඳ අපි කාගෙත් මතකයේ තිබෙනවා. යුද්ධය අවසන් වී වසර අටකට ආසන්න කාලයක් ගත වෙනවා. යුද්ධයක් ඇති වීමට හේතුව මෙන්ම යුද්ධය අවසන් වූ පසු පශ්චාත් යුද සමයේ අප විසින් කළ යුතු කාර්යයන්වලදී අපේ වගකීම් සහ යුතුකම් අතපසු වී ඇති බව අපි පිළිගත යුතුයි.

භාෂාව, ආගම, කුලය වෙනත් විවිධ සංස්කෘතීන් නිසා ඇති වූ අසමඟිය හේතුවෙන් යුද්ධය ඇතිවූ අවස්ථා අපේ රටේ පමණක් නොව ලෝක ඉතිහාසයේ සඳහන් වෙනවා. එසේම භූමිය, ජලය සහ අනෙකුත් භෞතික සම්පත් සඳහාද බොහෝ විට යුදමය තත්ත්වයන් ඇති වෙනවා. අපේ රටේ යුද්ධයක් ඇති වීමට හේතු වූ කාරණා කුමක්දැයි බොහෝ දෙනා දන්නවා. නැවත යුද්ධය ඇති වීම වැළැක්වීමට කළ යුත්තේ කුමක්ද කියාත් බොහෝ අය දන්නවා. එහෙත් අපිට ප්‍රශ්නය වී ඇත්තේ අපි දැන ගෙන ඇති බොහෝ දේ අප විසින් භාවිත නොකිරීමයි සහ ක්‍රියාත්මක නොකිරීමයි.

මේ රටේ පොදු ජනතාව පසුගිය වසරේ මාව ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීමෙන් මූලික වශයෙන් බලාපොරොත්තු වූයේ ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමයි. අපි බලාපොරොත්තු වූ සංහිඳියාව ඇති කිරීම විවිධ ක්ෂේත්‍ර හරහා දිව යනවා. හොඳ අධ්‍යාපනයක් දීම, හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා දීම එක් පැත්තක්. සෑම කෙනකුටම ජීවත් විය හැකි ආර්ථිකයක් ඇති කිරීම තවත් පැත්තක්. ඒ වගේම සෑම කෙනකුටම විශ්වාසයෙන්, බියෙන්, සැකෙන් තොරව ජීවත් විය හැකි සමාජයක් ගොඩනැඟීම තවත් කරුණක්. මෙවැනි විෂය ක්ෂේත්‍ර ගණනාවක් හරහා සංහිඳියාවේ අවශ්‍යතාව පෙන්නුම් කළ හැකියි. සංහිඳියාව ඇති කිරීම සඳහා සංස්කෘතික සහ කලා ක්ෂේත්‍රයන් ඉතාමත් වැදගත් වෙනවා.

කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්වල දක්ෂතා දැක්වූ කිලිනොච්චියේ දරුවන් සහ වැඩිහිටියන් තම දක්ෂතා හා නිර්මාණශීලී බව රටේ දකුණු ප්‍රදේශයට පැමිණ ඔවුන් හා එක්ව කටයුතු කිරීම සංහිඳියාව ශක්තිමත් කිරීමට ඉතාම වැදගත්වූ බව මගේ අදහසයි. දකුණේ සිටින කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් උතුරේ සිටින ජනතාව සමඟ එක්ව නව නිර්මාණ ඉදිරිපත් කිරීම සංහිඳියාව ඇති කිරීමට කදිම අවස්ථාවක් බව කිව යුතුයි. එසේම උතුරේ සිටින කලා ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් සහ ප්‍රවීණයන් දකුණේ සිටින දරුවන් සහ ජනතාව සමඟ මෙවැනි වැඩසටහන් සිදු කරනවා නම් එය සංහිඳියාව වැඩපිළිවෙළට මඟපෙන්වීමක් වේ යැයි මා විශ්වාස කරනවා.

අපේ රටේ පළාත් නවයක් තිබෙනවා. අපේ රටේ පළාත් නවය තුළ විවිධ සංස්කෘතීන් තිබෙනවා. ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධ ජනතාවගේ නාට්‍ය කලාව උඩරට, පහතරට සහ සබරගමු ලෙස නැටුම් සහ සංස්කෘතික අංශයන් තිබෙනවා. ඒ නැටුම් හා කලා සංස්කෘතීන් උතුරේ දරුවන්ට එක්වූ විට එය සංහිඳියාවට කෙතරම් ශක්තියක් දැයි මම ඔබේ අවධානයට යොමු කරනවා. ඒ නිසා උතුරේ දරුවන් ඇතුළු සියලු දෙනාගේ සංස්කෘතියේ සහ කලා ක්ෂේත්‍රයේ ඇති දක්ෂතා නිර්මාණශීලී බව දකුණේ පිරිස් එය එක්ව බෙදා ගැනීම ඉතා වැදගත් වෙනවා. එවැනි වැඩපිළිවෙළක් තුළින් සියලු ජන කොටස් අතර සමඟිය, මිත්‍රත්වය, විශ්වාසය, සහෝදරත්වය ගොඩනැඟිය හැකි බවට අපිට බලාපොරොත්තු තැබිය හැකියි. ඒ නිසා අපි තව බොහෝ දුර යා යුතුව තිබෙනවා. සංහිඳියාව පිළිබඳ කතා කිරීමේදී සංහිඳියාව යන වචනය ඇතැම් අය අපහාසයට උපහාසයට ලක් කරනවා. රජය සංහිඳියාව පිළිබඳ ජාතික වැඩපිළිවෙළක් ගෙන යද්දී රජයට විරුද්ධ මත දරන පිරිස් ෆෙඩරල් සංහිඳියාව ලෙස එය අර්ථ දක්වනවා. අපි ගෙන යන ජාතික සංහිඳියා වැඩපිළිවෙළට ෆෙඩරල් සංහිඳියාව කියා අපහාස සහ උපහාස කරන අයට යම් කිසි දිනෙක නැවත හඬන්න සිදුවේවායි කියා මම මතක් කරනවා. අපේ රටේ ඉදිරි අනාගතය සඳහා තිබෙන අභියෝග අපි විසින් තේරුම් ගත යුතුයි. සංහිඳියාවේ සහ ජාතික සමඟියේ ක්‍රියාශීලීත්වය සහ අවශ්‍යතාව අඩු තක්සේරුවට ලක් කිරීම ඛේදජනකයි. අද අපේ රටට අවශ්‍ය වන්නේ මුළුමහත් ශ්‍රී ලාංකික ජාතිය සහ ජනතාව රට ගොඩනැඟීමේ පොදු න්‍යාය පත්‍රයක් බව මගේ විශ්වාසයයි. ජාතියේ අනාගතය පිළිබඳ න්‍යාය පත්‍රය එක් එක් අයගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රවලින් යටපත් නොකළ යුතු බවට මම අවධාරණය කරනවා.

බලය ලබා ගැනීමටත් රටක් තිබිය යුතුය. බලය ලබාගත් අයකුට රට යහපත්ව පාලනය කිරීමට අවශ්‍ය සමාජ පසුබිම තිබිය යුතුයි. බලය ලබාගත් කෙනකුට රට ගෙන යෑමට රට තුළ ජාතික සමඟිිය සහ සංහිඳියාව ශක්තිමත්ව තිබිය යුතුයි. මේ පිළිබඳව අවතක්සේරුවෙන් කතා කරන පිරිස් මේ රටේ ජාතිය පිළිබඳව අඩු තක්සේරුවට ලක් නොකර රටේ වටිනාකම අඩු නොකළ සිටිය යුතු බව මගේ අදහසයි. මේ රටේ ජීවත්වන ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරන්න එපා යැයි මම ඒ අයගෙන් ඉල්ලා සිටිනවා.”

උදේනි සමන් කුමාර.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here