2015 වසරේ පළමු මාස අටෙන් පසු වේගවත් වූ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ පිරිහීම මේ වනවිට වඩාත් තීව්‍ර වී පසුගිය සතිය අවසානය වනවිට ඩොලරයක් සඳහා රුපියල් 160.21ක් ගෙවිය යුතු තත්ත්වයට පත්ව තිබුණි. 2014 වසර අග වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 131ක් වූ අතර 2016 වසර මැදදී එය 152ට පැමිණ 2017 අවුරුද්දේ මුල් මාසය අවසන් වනවිට 154 ඉක්මවා ගොස් තිබිණි. 2016දී රුපියලේ අගය අඩුවීමේ ප්‍රතිශතය 3.8ක් වූ අතර 2017 මුල වනවිට එය තවත් දශම 5කින් පිරිහීමට ලක්විය.

රුපියල රැකගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ තිබු විදේශ සංචිත මූල්‍ය වෙළෙඳපොළට මුදාහැරීමේ අසාර්ථක උත්සහයක් තිබිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2014 වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 8208ක් වූ සංචිත අගය 2016දී 6063 දක්වා පහළ වැටී 2017 මුල වනවිට තවදුරටත් පහළ ගියේය.

යහපාලන ආණ්ඩුව බලයට පත්වූ මුලදී පැවසුවේ රුපියල ස්ථාවර කිරීමට විදේශ සංචිත පාවිච්චි නොකර එයට ඉල්ලුම සැපයුම අනුව නිදහසේ පාවීමට ඉඩ දෙන බවය. මෙලෙස පාවෙන රුපියල එක්තරා අගයකදී තවදුරටත් උච්ඡාවචනය නැවතී ස්ථාවර වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වුවද එය ඉටු නොවී රුපියලේ අගය තව දුරටත් පහළ බසිමින් තිබේ.

රුපියල වේගයෙන් පරිහානියට ලක්වන අයුරු පෙනෙන විටය. ඉකුත් මාස 18 තුළ රුපියලේ අගය සියයට 10.5කින් අවප්‍රමාණ වී ඇති බව දක්නට ඇත.

රාජපක්ශ මුදල් ඇමතිවරයාගේ රජයේ අසාර්ථක වෙළඳ උපක්‍රම.

“2011-12 වසරවල මහ බැංකුව වෙළෙඳපොළට මැදිහත්වීම තුළින් අමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක් පමණ විදේශ සංචිත වැයකොට රුපියලේ විදේශ අගය ආරක්ෂා කිරීමට ගත් අඛණ්ඩ උත්සාහයෙන් පසුවද රුපියල සියයට 14කින් අවප්‍රමාණය විය. 2015දි අප සතුවූ සංචිතවලින් එක්සත් ජනපද ඩොලර් බිලින 2.1ක් වැය කිරීමෙන් පසුවද රුපියල සියයට 6.5කින් අවප්‍රමාණ විය”

අවප්‍රමාණයවීමට නියමිත රුපියල ආරක්ෂා කරගැනීමට දරන නිෂ්ඵල උත්සාහයක් ලෙස වැඩි වශයෙන් ණය ගෙවීම් වලින් සමන්විත වූ රටේ විදේශ සංචිත විශාල ප්‍රමාණයෙන් අපතේ යැවිම පැහැදිලි ලෙසම තිරසාර නොවන බවය. විදේශ විනිමය ලබාගෙන විදේශ සංචිත ශක්තිමත් කරගත යුතු බව අවධාරණය කර ඇත.

මෙයින් අදහස් කෙරෙන්නේ රුපියල ශක්තිමත් කිරීමට විදේශ විනිමය යොදාගැනීම ඵලදායි නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන අධිපතිවරයා තේරුම්කර දී ඇති බවය. 1977 විවෘත ආර්ථිකය අරඹනවිට ඩොලරයට සාපේක්ෂව 8.87ක තිබුණු රුපියල මේ වනවිට 154 ඉක්මවා වැඩිවීමෙන් අර්බුදය කොතරම්ද යන්න සනාථ වේ. පසුගිය ආණ්ඩුව සමයේදීද රුපියල නගා සිටුවීමට විදේශ සංචිත පාවිච්චි කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව සතු සංචිත සහ රාජ්‍ය බැංකුවල තිබුණු විනිමයද ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කර තිබිණ. අවසානයේදි සිදුවූයේ මහ බැංකුවේ මෙන්ම රාජ්‍ය බැංකුවල තිබූ සංචිතද විශාලවශයෙන් වියදම්වීම පමණි.

ආර්ථික වශයෙන් ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ පාන්නට ඇති ඉඩකඩ සීමිත වීමට නම් විණිමය අනුපාතිකය වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වන්නට ඉඩහරිය යුතුය. නමුත් හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ධුරය දරු සමයේ සිදු වුයේ අනෙකකි. එනම්, විණිමය අනුපාතිකයේ තාවකාලික උච්ඡාවචනයන් වැළැක්වීමේ අරමුණින් විදේශ විණිමය වෙළඳ පොලට මහ බැංකුව විසින් කරන ලද මැදිහත්වීම්ය. එවන් අවස්ථාවන්වල පැහැදිලි ලෙසම සිදුවන්නාක් මෙන් රුපියල අවප්‍රමාණය වීම සීමා කිරීමේ ව්‍යාජ අසාර්ථක ක්‍රමවේද හා ඒ පසුපස ගොනු පසුපස ඇදෙන ගැලමෙන් පැමිණෙන ගෙවුම් ශේෂ අර්බුද අනුක්‍රමයෙන් වැඩිවී යාමය. සරළව පැහැදිලි කළහොත්, තම ශතකය වාර්තා කිරීමට ලකුණු 90 රැඳී සිටින ක්‍රීඩකයෙකු ප්‍රවේගකාරී නොවී ලෑල්ල දමමින් ඕවර නාස්ති කිරීම බඳුය. එය කණ්ඩායම පැත්තෙන් අවාසිදායක වන්නා සේ ආර්ථිකමය වශයෙන් රට සහ එහි ජනතාවට ඉතා අවාසිදායක තත්වයක් නිර්මාණය කෙරේ.

එම සමය තුළ ඇමරිකන් ඩොලරය එක් එක් කාලවල රුපියල් 100, 115 හා 130 සීමාවන්හි දිගු කලක් රැඳී තිබුණේ මහ බැංකුව විසින් මැදිහත්වීම් කරමින් එම සීමා ආසන්නයේ ඩොලරය සෑහෙන කලක් ස්ථාවරව තබාගත් බැවිනි. මේ එක් එක් අවස්ථාවේදී, මෙසේ ඩොලරය අදාළ මට්ටමේ රඳවා ගැනීම අසීරු වන විට මහ බැංකුව විසින් විණිමය අනුපාතිකය වෙත මැදිහත් වීම නැවැත්වීමත්, ඉන් පසු ඉතා කෙටි කලක් තුළ රුපියලේ අගය විශාල ලෙස පහත වැටීමත් සිදුවිය. මෙම පහත වැටීම ආර්ථික කාල දර්ශකය සමග සැසඳීමේදී ඉතා කෙටි කාලයක් තුල විශාල වශයෙන් සිදුවීම හේතු කොට ගෙන රටේ සියලුම ආර්ථික අංශ කෙරෙහි වේගවත් වෙනසක් සිදුවිය. එය එසේ වුයේ එම අංශ වලට එම බැරෑරුම් උච්ඡාවචනයට අනුගත වීමටවත් කාල ප්‍රස්ථාවක් නොතබාය. මෙය ස්වභාවික පහත වැටීමක් වනන්නට ඉඩ තැබුවේ නම් මෙම ගෙවුම් ශේෂ අර්බුදය නිර්මාණය වන්නට ඉඩ නොතිබුණි.

දකුණු ආසියාවේ අඩුම අපනයන ආදායම ලබන රට.

රුපියලේ අගය අඩුවීම නවත්වා ගැනීම සඳහා විදේශ සංචිත පාවිච්චි කිරීම අසාර්ථක වී ඇති බව මේ වනවිට සනාථ වී ඇති අතර එයින් සිදුව ඇත්තේ සංචිත අගය විශාල වශයෙන් අඩුව ගොස් රුපියල පිරිහීමද වේගවත් වීමය. මෙය දෙආකාරයකින් රටේ ආර්ථිකයට වින කිරීමක් බව පෙනෙන්නට තිබේ. මේ පිළිබඳ පූර්වාදර්ශද අපට ඇති අතර 2011-12 වසරේ රුපියල ශක්තිමත් කිරීමට එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක පමණ විදේශ සංචිත වැය කළද රුපියල අවප්‍රමාණවීම සියයට 14කින් ඉහළ ගියේය.

රුපියල පිරිහීමේ තවත් අහිතකර ප්‍රතිඵලයක් වනුයේ අපේ විදේශ ණය ප්‍රමාණය ඉහළ යාමයි. 2015 වසරේදී මේ නිසා අපේ සමස්ත ණය අගය රුපියල් කෝටි 28500කින්ද 2016 වනවිට කෝටි 30000 දක්වා පමණද ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුව කියයි. රුපියල තවදුරටත් අවප්‍රමාණවීම නවත්වා ගැනීමට අපොහොසත් වුවහොත් මෙම වර්ෂය තුළදී විදේශ ණය තවදුරටත් ඉහළ ගොස් විශාල අර්බුදයකට ලක්විය හැකි බව පෙනීයයි.

ඩොලරයක් විකිණීමෙන් බැංකු ලබන වාසිය.

මෙහි තවත් පැත්තක්ද තිබේ. මෙතෙක් කලක් අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල හා ගැණුම් මිල අතර විශාල වෙනසක් තිබුණෙ නැත. එහෙත් අදවනවිට ක්‍රමයෙන් ඒ වෙනස පුළුල්වී තිබේ. අද ඩොලරයේ ගැණුම් මිල 148 වනවිට විකුණුම් මිල 154ක් වී තිබේ. මේ අනුව ඩොලරයක් විකිණීමෙන් රුපියල් 6ක ලාභයක් ලැබීමට රාජ්‍ය හා වාණිජ බැංකුවලට හැකිව තිබේ. මේ වෙනස වැඩිවන තරමට වැඩි ලාභයක් තකා මෙම ව්‍යාපාරයට බැසීමට පෞද්ගලික මූල්‍ය ව්‍යාපාරිකයෝද පෙළඹී සිටිති. එයට හේතුව මෙය කිසිදු මූල්‍ය වියදමකින් තොරව මුදල් ඉපැයීමට හැකි ව්‍යාපාරයක් විමයි. ඓහෙත් මෙලෙස ඩොලර් අලෙවි කිරීමෙන් රටේ විනිමය ප්‍රශ්නය තවත් උග්‍රවෙන අතර ආර්ථිකය තවදුරටත් කඩා වැවීමට හේතුවී තිබේ.

අපේ විදේශ ණය බර ඉහළයාමටද රුපියල දුර්වල වීමට හේතු වී තිබේ. සියයට 10කින් ඩොලරය ඉහළ නැංගායැයි කීමෙන් අදහස් වන්නේ ඕනෑම ගනුදෙනුවකදී ඩොලර් එකක් වෙනුවෙන් ගෙවන්නට සිදුවන රුපියල් ප්‍රමාණය ඉහළ යාමකි. රටට එන හැම ඩොලරයක් වෙනුවෙන්ම රට තුළින් විශාල රුපියල් ප්‍රමාණයක් කැපකරන්නට සිදුවේ. එයින් අදහස් වන්නේ ඩොලර් ලබාගැනීමට විශාල මුදලක් වැයවීමය.

රුපියල පිරිහීම නිසා ශ්‍රී ලංකාවට ආනයනය කරන සියලුම භාණ්ඩ හා සේවාවල මිල ඉහළයාම නොවැළැක්විය හැකිය. පසුගිය සමයේ වසර 3කට වරක් අපේ ආනයන දෙගුණ වූ අතර ඉන්ධන ආනයනයද මෙලෙස දෙගුණ වෙයි. එහෙත් අදවන විට කිසිදු සීමාවකින් තොරව සහල් මිල වැඩි වූ විට නිසි කළමනාකරණයක් කර මිල අඩුකරනවා වෙනුවට කිසිදු සීමාවකින් තොරව පිටරටින් සහල් ගෙන්වීමට කටයුතු කළේය. මෙම තත්ත්වය ඇතැම් දේශපාලනඥයන්ට සහ නිලධාරින්ට ස්වකීය මඩිය තරකර ගැනීමට වෙස්වලාගත් ආශිර්වාදයක් වු අතර ඔවුහු අතදිගහැර අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආනයනයට පෙළඹුණාහ. උදාහරණයක් වශයෙන් සහල් හිඟය දඩමීමා කරගෙන මේ වනවිට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සහල් ආනයනය කර ඇති බව දැන ගන්නට ඇත. අනවශ්‍ය ලෙස රථවාහන මෙන්ම හඳුන්කූරු, සෙල්ලම්බඩු, ආයාකටු ආදිය පවා කිසිදු වග විභාගයකින් තොරව ආනයනය කරන බව පෙනෙන්නට තිබේ.

එසේම විදේශ විනිමය ප්‍රශ්නය අපට වාසිදායක ලෙස විසඳාගැනීම සඳහා ආනයන සීමාකර අපනයනය ප්‍රසාරණය කළ යුතුය. මෙහිදී විදේශවලට අපනයනය කරන අපේ නිෂ්පාදන ප්‍රමාණය ඉහළ නැංවිය යුතු අතර අලුත් අලුත් අපනයන කරා යොමුවිය යුතුය. රටේ පොල්තෙල් මිල වැඩිවන විට ෆාම්තෙල් ගෙන්වීම විසඳුම ලෙස සැලකුවද එයින් සිදුවන හානිය පිළිබඳ වගේ වගක් නැති සැටියකි.

ජනාධිපතිවරයා දිගින් දිගින් දිගටම විවිධ අවලාද, අපවාද මැද මේ උත්සහ කරන්නේ දේශීය ගොවියා,, ඩෙහශීය කර්මාන්ත ශක්තිමත් කර අපේ රටේ අපනයන ආදායම ඉහලට රැගෙන ඒමටයි.

මේ නිසා මෙහිදී අවධාරණය කළ යුත්තේ දැනට ඇති විදේශ විනිමය අර්බුදය සමනය කිරීම සඳහා රටතුළට ගලා එන විදේශ විනිමය වැඩිකර රටෙන් පිටතට ගමන් කරන මුදල් සඳහා වැට බැඳිය යුතු බවය. එසේ විනිමය වර්ධනය කළහොත් ඉබේම රුපියල අවප්‍රමාණය වීම නවතින බව අවධාරණ්‍ය කළ යුතුය.

වර්තමාන තත්වය.

මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීම නැවැත්වීමෙන් පසුව රුපියල එහි වෙළදපොළ අගය දක්වා සීඝ්‍රයෙන් අවප්‍රමාණය වී නැවත ස්ථාවර වීමට බොහෝ සෙයින් ඉඩ කඩ ඇත. ඒ අනුව රටේ විදේශ විණිමය ප්‍රතිපත්තිය මේ වන විට ස්ථාවර වී තිබීම සතුටට කරුණකි. එබැවින් මහ බැංකුව විසින් අනාගතයේදී මේ චක්‍රය නැවතත් පුනරාවර්තනය නොකරමින් එතැන් සිට රුපියලට වෙළදපොළ සාධක අනුව නිදහසේ ස්වභාවික ලෙස ඉල්ලුම හා සැපයුම මත තීරණය වී රුපියල අවප්‍රමාණය වන්නට ඉඩහැරීම තුලින් අපේ රට ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ නොපානු ඇති බවට ආර්ථික විද්වතුන් ප්‍රකාශ කරන කරුණකි.

අප තේරුම් ගත යුත්තේ එක වැදගත් කරුණකි. මේ පිළිබඳව අප හිටපු ජනාධිපතිවරයාට මේ ආර්ථික කඩා හැලීමට චෝදනා කරන්නේ ඔහු ජනාධිපතිවරයා වීම නිසා නොව ඔහු ඔහුගේම ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වී සිටීම සහ ඔහුගේ ගජ මිතුරන්ගේ අසාර්ථක වෙලඳ උපක්‍රම ඔහුට සහ ඔහුගේ වන්දනාකරුවන්ට, අනුගාමිකයන්ට මතක් කර දීමටය. එමෙන්ම ඔහු ඔහුගේම ආණ්ඩුවේ මුදල් ඇමති බව ඔහුට අමතක වුනාට අපට අමතක නැති නිසාවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here