ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ ස්‌ථාන කිහිපයක තිබූ බුදුපිළිමවලට හානි කළ සැකකරුවන් සොයා පොලිස්‌ කණ්‌ඩායම් 8 ක්‌ පරීක්‍ෂණ ආරම්භ කර ඇත. මෙසේ බුදුපිලිමවලට හානි කිරීම හරහා සිංහල දෙමල හා මුස්ලිම් ජනතාව සාමකාමිව වාසය කරන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජාතිවාදී ගැටුම් ඇතිකර එහි වගකීම රජයට පවරමින් රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවට පොලිසිය සැක පල කරයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සුමිත් එදිරිසිංහ මහතාගේ උපදෙස්‌ මත ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ආර්. ඒ. නිමල් පෙරේරා මහතා විසින් මෙම පොලිස්‌ කණ්‌ඩායම් මෙහෙයවීමට ත්‍රිකුණාමලය කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ජගත් චන්ද්‍ර කුමාර මහතාට පවරා ඇත. මේ වන විටත් විවිධ පරීක්‍ෂණ ඔස්‌සේ සිදුකළ පරීක්‍ෂණවලින් වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය වන බැවින් ළඟදීම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බව පරීක්‍ෂණ පවත්වන පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.
මේ වන විට ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ බුදුපිළිම තිබෙන ස්‌ථානවලට පොලිස්‌ ආරක්‍ෂාව යොදවා ඇත.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here