සමහරු තමන් කරන අපරාධ ධනය බලය පාවිච්චි කොට යටපත් කරගෙන සිටිති. එහෙත් යමෙක් අපරාධයක් කරයි ද එය විශ්වයට රහසක් නොවේ. එසේම එය තමන්ගේ සිත ද හොඳින් දනී. ඒ නිසා සිතට හොරා අපරාධයක් කළ නොහැකිය. එය සිතෙන් මකා දමන්නටත් බැරිය. නිදි යහනේ දී ලෙඩ ඇඳේ දී, මරණ මංචකයේ දී හෝ යටි සිතේ සඟවා ගෙන සිටි එම වැරැද්ද අවි දරාගෙන නැගී සිටිනු ඒකාන්තය.

නාවලපිටියේ සිරිසේන හතළිස් අට හැවිරිදි එක් දරු පියෙකි. රමණී ඔහුගේ බිරියයි. ඔවුන්ගේ එකම දුව දහසය හැවිරිදි සඳුනි සමානය පෙළ විභාගයට සුදානම් වෙමින් සිටී. එහෙත් දැනට මාස හයක පමණ කාලයක සිට සඳුනිගේ චර්යාවන් අසාමාන්‍ය වී ඇත. ඇය කෑම අප්‍රියාවෙන් පෙළෙයි. රාත්‍රියට හීනෙන් බියට පත්ව අවදි වී අඬයි.

ඔවුන් පදිංචි දෙමහල් නිවසේ උඩ තට්ටුවේ අත්වැලට සාරියක් ගැට ගසා එහි කෙළවර සිය බෙල්ලේ පටලවාගෙන පහළට පනින්නට සැරසෙයි. මේ නිසා නිතරම ඇය මව්පියන් රැකවලේ සිටී.
මෙය මානසික ප්‍රශ්නයක් යැයි කියමින් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නත් ඇයට සුවයක් ලැබුණේ නැත.
වත් පිළිවෙත් කළත් එයින් ද සහනයක් නොවීය. අවසානයේ මව්පියන් විසින් ඇය ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත කැඳවා ගෙන එනු ලැබිණි.
එහිදී ඔවුහු ආධ්‍යාත්මීය උපදේශකවරයා වෙත කරුණු පැහැදිලි කරන්නට වුහ.
කරුණු පැහැදිලි කළ සඳුනිගේ පියා සිරිසේන ගවේෂකවරයා ඉදිරියේ තදින්ම කියා සිටියේ මෙය මානසික ප්‍රශ්නයක් බවය.

එහෙත් සඳුනිගේ මව රමණී නිහඬව බිම බලාගෙන සිටියාය. පළමු රෝග පරීක්ෂාවේදීම සඳුනි භූතාත්තමයක් ආවිශ්ට වී ඉතා වේගයෙන් හිස පොළොවේ ගහන්නට වුවාය.
ඒ නිසා ඇය පාලනය කිරීමට මහත් වෙහෙසක් දරන්නට සිදුවිය. ඒ සමඟ ඇය මහත් වේදනාවකින් අඬන්නට වූවාය.
තත්ත්වය ඉතා දරුණු බැවින් ඇයගේ සිරුර තුළ සිටිනා භූතාත්මය ක්‍රමයෙන් සමනය කිරීම සඳහා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්ව එන්නයි ගවේෂකවරයා ඔවුනට උපදෙස් දුන්නේය.
බෝධි පූජා ආරම්භ කළ දිනයේ සිටම රමණී, ගවේෂකවරයාට දුරකථනයෙන් අමතා පුද්ගලික දෙයක් කීමට ඇතැයි පවසන්නට වුවාය. ගවේෂකවරයා ඇගේ කතාවට සාවධානව සවන් දුන්නේය.

“මහත්තයා මට අක්කා කෙනෙක් ඉන්නවා. නම මාලනී, අක්කා විවාහ වෙලා අවුරුදු දහයකට විතර පස්සේ එයාගෙ මහත්තයා එයාව අතහැර දාලා යන්න ගියා.
ඒ වෙන කොට අක්කට අවුරුදු දහයක දුවෙක් හිටියා. නම අචිනි. පස්සේ අක්කයි දුවයි මහ ගෙදර පදිංචියට ආවා. ඒ වෙනකොට මමත් සිරිසේන එක්ක විවාහ වෙලා මහගෙදරමයි හිටියේ. අක්කා අචිනි දුව අම්මට බාර දීලා රට රස්සාවකට ගියා.”

“අචිනි දුව 10 වසරේ ඉගෙන ගන්න කාලෙ අපේ සිරිසේන එයාව දුෂණය කළා.
ඒත් ලැජ්ජාව නිසා මමයි අම්මයි සිද්ධිය කාටත් නොකියා හංගාගෙන හිටියා. ඔය අතරේ අචිනි කොල්ලෙක් එක්ක සම්බන්ධකම් පවත්වන බව දැන ගන්න ලැබුණා.

අපිත් නිශ්ශබ්දව හිටියා. මේ දේවල් කිසි දෙයක් රට ඉන්න අක්කා දන්නේ නෑ. මේ අතරේ අචිනි හිටිහැටියේ මිනිහෙක් එක්ක පැනලා ගියා. මාස කීපයකට පස්සේ ඒ මිනිහා බැඳපු මිනිහෙක් බව දැනගෙන අචිනි අඬ අඬා ගෙදර ආවා. ඒ වෙනකොට අචිනිට බබෙක් හම්බවෙන්න ඉන්නවා ඒත් අම්මා අචිනිව ආපහු බාර ගත්තා. අක්කා රට ඉඳලා සල්ලි එව්වෙත් අම්මට.”

“ගෙදර ආවට පස්සේ සිරිසේන ආයෙත් අචිනිත් එක්ක සම්බන්ධකම් පටන් අරගෙන අම්මගේ අතටම අහුවෙලා තියෙනවා. ඒ සැරේ අම්මා සිරිසේනට බැන්නා උඹ එක සැරේකුත් මේ කෙල්ලව අමාරුවෙ දැම්මා. ආයෙත් පටන් ගත්තද? මම කෙල්ලත් එක්ක වෙන ගෙදරක පදිංචි වෙන්න යනවා කියලා අම්මා කියලා තියෙනවා.
මේ සිද්ධිය අම්මට කිව්වයි කියලා සිරිසේන අචිනිට ගැහැව්වා. අචිනිව වැටිලා බඩේ හිටියා දරුවා ගබ්සා වුණා. අචිනි පඩිපෙළේ උඩ අත්වැලේ සාරියක් ගැට ගහලා ඒකේ එල්ලිලා මැරුණා. ඒ අචිනි ගෙ භූතාත්මය මගේ දුව සඳුනිට ආවේශ වෙනවා කියලා මට හිතෙනවා. අනේ මහත්තයා මේ කතාව මම කියපු බව නම් අපේ සිරිසේනට දැනගන්න තියන්න එපා එයා මාව මරාවි. මේ මිනිහා ඒ තරම් නරුමයෙක්”

රමණී ගවේෂකවරයාට හිතේ තිබු හැම දෙයක්ම එසේ කියන්නට වුවාය. සියල්ල අසා සිටි ගවේෂකවරයා යළි තමා හමුවට අචිනි සමඟ එන ලෙස දන්වා සිටියේය.
බෝධි පූජා ද අවසන් කොට ප්‍රතිකාර සඳහා ආපසු පැමිණි දිනයේ සඳුනිට භූතාත්තමය ආවිශ්ට වී අඬන්නට වුවාය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.
“කවුද මේ අඬන්නේ?”

“මම අචිනි” භූතාත්මය කීවාය. “කවුද අචිනි කියන්නේ?”ගවේෂකවරයා අචිනි ගැන නොදන්නා සේ ඇසීය.
“මේ සඳුනි නංගිගෙ ලොකු අම්මගේ දුව“

“ඔබට මොකද වුණේ” ගවේෂකවරයා එසේ අසන විටම භූතාත්මය අඬන්නට වුවාය.
“අනේ, මහත්තයා මෙන්න මූ මාව දුෂණය කළා.”
භූතාත්මය සිරිසේනට ඇඟිල්ල දිග් කොට පෙන්වුවාය. ඒ මොහොතේ සිරිසේනගේ බිරිය රමණී බිම බලා ගත්තාය.
“ඉතින් මොකද වුණේ?” “මූ මට ලැබෙන්න හිටිය දරුවා නැති කළා.” “ඒ කොහොමද?”

“මං මූ ගැන ආච්චිට කිව්වා කියලා මට වැටෙන්න ගැහුවා. ඒ වැටුණු වැටිල්ලට බඩේ හිටිය දරුවා ගබ්සා වුණා. ඒ වේදනාවට මම එල්ලීලා මැරුණා.”
එසේ කියමින් ප්‍රේතිය නැවතත් අඬන්නට වූවාය. “ඔය බොරු. ඔය සාක්කි නීතිය මම පිළිගන්නේ නෑ”
සිරිසේන මේ අතරට පැන හයියෙන් කීවේය. ඒ සමඟම ගවේෂකවරයාට තරහ ගියේය.
“මොකක්ද තමන් කිව්වේ? නීතිය පිළිගන්නත් නැතත් තමන්ගේ හෘදය සාක්කිය දන්නවනේ මොකද වුණේ කියලා. කැත වැඩ කරලා තවත් කතා කරන්නටත් එනවා. මෙතැනින් යන්න. මෙතැන පස් පාගන්න එන්න එපා. මෙන්න ඔබගේ පඬුරු”

ගවේෂකවරයා බුලත් හා පඬුරු මුදල ද ගෙන සිරිසේනගේ මුහුණට දමා ගැසුවේය.
“ඒත් මේ අහිංසක ගෑනු දරුවාට අනුකම්පා කර ප්‍රතිකාර කරනවා” කී ගවේෂකවරයා තවත් සතියක් බෝධි පූජා පවත්වා අචිනිට පින් අනුමෝදන් කොට නැවත එන්නැයි රමණිට කීවේය.

බෝධි පූජා අවසන්කොට රමණී, සඳුනි දුව සමඟ නැවත පැමිණියාය. මේ වන විට අචිනිගේ මව මාලනී ද ලංකාවට පැමිණ සිටි බැවින් ඇය ද ගවේෂකවරයා මුණ ගැසීමට ආවාය. එදින ද ප්‍රතිකාර ආරම්භ කරන විට අචිනිගේ භූත ආත්මය සඳුනිට ආවිශ්ට වී කතා කරන්නට වූවාය.
“අනේ අද මගේ අම්මාත් ඇවිත්. අනේ. අම්මේ…”
කියමින් භූතාත්මය මාලනී බදාගෙන අඬන්නට වුවාය.
“අම්මේ අරූ මාව විනාශ කළා…” භූතාත්මය හඬමින් එසේ කීවාය.
“කොහොමද ඔබ බෝධි පූජාවලට ගියා දැ?” ඒ අතරතුර ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.
“ඔව්…සර් මම ගියා. එතැන හරිම සුවයක් දැනුණා.” ප්‍රේතිය කීවාය.
“මේ සඳුනි නංගී අහිංසකයි. එයාට කරදර කරන්න හොඳ නෑ නේද?” ගවේෂකවරයා පේ‍්‍රතියගෙන් විමසුවේය.
“ඔව් සර් මට හරිම දුකයි. මෙයාගෙන් පළිගන්න වුවමනාවක් මගේ හිතේ නෑ.” “බොහොම හොඳයි. තමන්ට වරදක් කළ කෙනාට නියමිත දඬුවම් ලැබේවි. ඔබ හිත හදාගෙන මේ නංගිගේ ශරීරයෙන් ඉවත් වී හොඳ තැනකට යන්න.”
“මං කැමතියි. මාව හොඳ තැනකට යවන්න මහත්තයා.”
“නිවසේ සාංඝික දානයක් පිරිනමා අචිනිගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කොට නැවත එන්න” රමණීටත් මාලනීටත් උපදෙස් දෙමින් ගවේෂකවරයා කීවේය.
සාංඝික දානය පිරිනමා නැවත පැමිණි දිනයේ දී භූතාත්මය මල් වට්ටියකට සම්බන්ධ කළ ගවේෂකවරයා ඔවුන් අතම එය කැලණියට යැව්වේය.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here