මේවන විටත් බහුතර බලය හිමි කරගෙන ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය පත් කිරීමේ කටයුතු තව දින දෙකකදී අවසන් කිරීමට තීරණය කර තිබේ.

ඊයේ(01) දිනයේදීද නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු හය දෙනෙක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

එහිදී ජනාධිපතිවරයා ඇමැතිවරුන්ට ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවට අවශ්‍ය බහුතර බලය මේවන විටත් හිමි කර ගෙන ඇති බවත් තව අවස්ථා දෙකකදී සම්පූර්ණ ඇමැති මණ්ඩලය පත් කර අවසන් කරන බව ප්‍රකාශ කළ බවත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පැවසී ය.

තමාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් එක්ව සහයෝගයෙන් යන මේ ආණ්ඩුවට සහය දිය යුත්තේ රට ගැන සිතා බවත් මේ වනතෙක් ඒකාබද්ධ විපක්ෂයේ කිසිවෙකුත් ඇමැති ධූරවල දිවුරුම් නොදුන් බවත් ඔවුන් කළ කැපකිරීම අගය කරන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

මෙවර ඇමැති මණ්ඩලයේදී නීතිය හා සාමය අමාත්‍යාංශයට වෙනත් අමාත්‍යවරයෙකු පත් නොකරන අතර එම අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රී පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය අණ්ඩුවෙන් ඉවත් කළ යුතු බව හැමෝම කීවද තමා කළේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් කිරීම බවයි.

සියලු දෙනාගේම සහය ලැබෙන්නේ නම් තමා බහුතර ආණ්ඩුවක් නොව තුනෙන් දෙකක ආණ්ඩුවක් සාදන බවද එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එකතු වීමට බොහෝ පිරිසක් සිටින බවද පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩුව පිහිටුවීමේ කිසිදු ගැටළුවක් නැති බවද ප්‍රකාශ කර ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුව පිහිටුවීමට කොන්දේසි විරහිතව දක්වන සහය අගය කර ඇති ජනාධිපතිවරයා ඇමැතිවරු කණ්ඩායම් දෙකක් දැනටමත් දිවුරුම් දී ඇති අතර තවත් පිරිසක් අද හෙටම දිවුරුම් දෙන බවද පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here