“ඕනෑම අවස්ථාවක ජාතිය මත පදනම්ව කරන සියලු බෙදීම්වලට මම දැඩි සේ වෛර කරනවා. මම මගේ මුලු ජීවිතය පුරාම එයට එරෙහිව සටන් කළා. මම දැනුත් සටන් කරනවා. මගේ ජීවිතයේ අන්තිම දවස දක්වා මම එය කරනවා.”

-නෙල්සන් මැන්ඩෙලා

දකුණු අප්‍රිකානුවන්ගේ පියා, වර්ණභේදවාදයේ කුරිරු බවට එරෙහිව සටන් කොට මුළු මහත් ජනතාවකට නිදහස ලබා දුන්, ලෝකයට බලාපොරොත්තුව, සාමය සහ සමාවේ පණිවුඩය දුන් මෙඩිබා නැත්නම් නෙල්සන් රොලිලා මැන්ඩෙලා 2013 දෙසැම්බර් මස පස්වැනිදා රාත්‍රියේ සදාකාලික සාමය අත් කරගත්තා.

1918 ජුලි 18 වැනි දින දකුණු අප්‍රිකාවේ තෙම්බු රාජකීය ගෝත්‍රික පවුලක උපන් නෙල්සන් මැන්ඩෙලාට පවුලෙන් ලැබූණ නම වුනේ රොලීලා. ක්සෝසා භාෂාවෙන් එහි තේරුම ‘ගැටළු ඇති කරන්නා’ යන්නයි. පාසලට ඇතුළු වු ඔහු පසු කලෙක Fort Hare විශ්ව විද්‍යාලය සහ Witwatersrand විශ්ව විද්‍යාලය වෙතින් නීතිය හදාරා වසර සිය ගණනක් තිස්සේ යුරෝපයේ කොළනියක් වූ දකුණු අප්‍රිකාවේ පැවති වහල් වර්ණභේදවාදයට එරෙහි නිදහස් සටනේ පෙරමුණ ගත්තා.1962 දි අත්අඩංගුවට පත් වී එතැන් පටන් වසර 27ක් ඔහු ව සිරගත කර තබනු ලැබුවා. ඒ සිරමැදිරියේ සිට ඔහු ලෝකයේම මිනිසුන්ට නිදහස පිණිස සටන් කිරීමට පසු කලෙක පන්නරයක් වුණ සිය ජීවිත කතාව ලියූ අතර ලොව පුරා මිනිසුන් ඔහුගේ නිදහස වෙනුවෙන් අරගල කළා.

මේ සියලු අරගලවල ප්‍රතිඵලයක් ලෙස 1989 දී එවකට දකුණු අප්‍රිකානු ජනාධිපති ඩි ක්ලාර්ක් ඔහු සමග සාකච්ඡා කළා. මැන්ඩෙලා නිදහස් කිරීමට ඔහුට අවශ්‍ය ව තිබුණත් මැන්ඩෙලා ගේ කොන්දේසිය වුනේ ඒ වන විටත් තහනම් කොට තිබූ තම දේශපාලන පක්ෂය අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ (ANC) තහනම ඉවත් කළ යුතු බවයි. නැතහොත් තමන්ට නැවත වරක් තහනම් දේශපාලනයක නිරත වන්නට සිදුවන බවට ඔහු අනතුරු ඇඟවූවා. ඒ අනුව මැන්ඩෙලා පක්ෂයේ නිදහස වෙනුවෙන් වසර 27 ක් ලැබ ගන්නට බලා සිටි තම නිදහස ප්‍රතික්ෂේප කළා. මාස දෙකකට පසු 1990 පෙබරවාරි දෙවැනි දා දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව උඩු යටිකුරු වුනා.

මැන්ඩෙලා ගේ වචනවලින් ම කියනවා නම්, ” ඩි ක්ලාර්ක් ජනාධිපතිවරයා එදා මෙදා තුර කිසිදු ජනාධිපතිවරයෙක් නොකළ දෙය කළා. ඔහු ඇපාර්තීඩයේ බිත්ති බිඳ තමා ප්‍රජාතන්ත්‍රවාදී දකුණු අප්‍රිකාවකට පදනම දැමුවා.” (Long Walk to Freedom (1994), 131 පිටුව) ඩි ක්ලාර්ක් අප්‍රිකානු ජාතික කොංග්‍රසය ඇතුළු තහනම් කොට තිබූ තවත් පක්ෂ සහ ආයතන 31 ක තහනම ඉවත් කළා. දේශපාලන සිරකරුවන්ට නිදහස ලැබෙන බවට ද ප්‍රකාශ කළා. නමුත් හදිසි නීතිය එසේම තිබුණා.

එහි ඊළඟ පියවර ලෙස මැන්ඩෙලාට නිදහස හිමිවන බව ඩි ක්ලාර්ක් ඔහු හමුවී කිව්වා. ඩි ක්ලාර්ක් ඇතුළු රජයට අවශ්‍ය වුනේ ඔහුව කේප් ටවුන් වෙතින් ජොහැන්නස්බර්ග් කරා ගුවනින් ගෙන යාමට වුවත් මැන්ඩෙලා එය ප්‍රතික්ෂේප කළා. ඔහුට අවශ්‍ය වුනේ දශක තුනකට ආසන්න කාලයක් තමන්ගේ සිර ගෙය මෙන්ම නිවහන වූ කේප් ටවුන් හරහා ඇවිද යාමට. සාකච්ඡා කීපයකින් පසු එයට එකඟ වූ ඔවුන් 1990 පෙබරවාරි 11 වැනිදා මැන්ඩෙලා නිදහස් කළා. ඒ පෙබරවාරි 11 වැනිදා සවස හතරට පමණ මෙඩිබා සිය බිරිඳ විනී මැන්ඩෙලාගේ අත ගෙන වික්ටර් වර්ස්ටර් බන්ධනාගාරයේ දොරටු අතරින් නිදහස් මිනිසෙකු ලෙස ඇවිද ගියා.

“අපි වාහනයෙන් බැහැලා මා එනතුරු පෙරමඟ බලමින් සිටි මහා විශාල සෙනඟ දෙසට ඇවිද ගියා. ගේට්ටුවෙන් එළියට යන විට මම මගේ දකුණු අත මිටි කර එසෙව්වා. සෙනඟ මහා ඝෝෂාවක් නිකුත් කළා. වසර 27කින් මා එවැන්නක් කර තිබුණේ නෑ. මට එක්වරම මහා ශක්තියක් සහ ප්‍රීතියක් දැණුනා. මට හැඟුණා වයස 71 දි මගේ ජීවිතය නැවත ඇරඹෙන්න යන බව. අන්තිමේදි දින 10,000 ක මගේ සිර දිවිය නිමා වෙලා තිබුණා.” (Long Walk to Freedom (1994), 134, 135 පිටු)

1993 දි නෙල්සන් මැන්ඩෙලා සහ ඩි ක්ලාර්ක් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවා. 1994 දී එරට පැවති ප්‍රථම බහුවාර්ගික ජ්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් දකුණු අප්‍රිකාවේ ප්‍රථම කලු ජාතික ජනාධිපතිවරයා ලෙස මැන්ඩෙලා තේරී පත් වුණා. 1999 තෙක් ජනාධිපති ධුරය හෙබවූ ඔහු කැපවුනේ වර්ගවාදයෙන් තොර සමාජයක් වෙනුවෙන්. රට තුළ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමට සහ ඉඩම් ප්‍රතිසංස්කරණ පණත දිරිගැන්වීමට කැපවූ අතරම දුගී බව තුරන් කිරීමටත් සෞඛ්‍ය සේවා දියුණු කිරීමටත් වෙහෙසුනා. එමෙන්ම ඔහු රටවල් අතර ඇතිවන්නට ගිය ගැටුම් නිරාකරණය කිරීමට පවා සමත් වූ දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වුණා. ලිබියාව සහ බ්‍රිතාන්‍යය අතර ගැටුම සමථයකට පත්කිරීම ඊට එක් උදාහරණයක්.

“අප දේශපාලනික වශයෙන් සතුරන් වුවත්- අතීතයේ අපේ සම්බන්ධතාවය කුණාටු සහිත එකක්ව පැවතුනත්, සාමයේ කතිකාව තුළ අපට හැම තිස්සෙම හැකි වුනා තීරණාත්මක මොහොතවල් වලදී එකට ඉඳගෙන බොහෝ අර්බුද විසඳන්න.” ඩි ක්ලාර්ක්, වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවේ අවසාන ජනාධිපතිවරයා පසුව සිය ප්‍රකාශයක එසේ සඳහන් කළා.

ලොව පුරා මිනිසා මිනිසාට එරෙහිව කරන ලද දුෂ්ටකම්වලින් දකුණු අප්‍රිකාවේ සුදු ජාතික සුළුතරය, ස්වදේශික කලුජාතිකයන්ට සියවස් ගණනාවක් තිස්සෙ කරන ලද අසාධාරණය හා අවමානය සුළුපටු එකක් නොවේ. සුදු ජාතිකයින්ට පමණක් වෙන්වූ පොදු පහසුකම් සහ කලු ජාතිකයන් වහලුන් ලෙස දශක ගණන් තබා ගත් අධිරාජ්‍යවාදී නීති විසින් මේ මුළු කාලය පුරා කලුජාතික පරම්පරා ගණනාවක අධ්‍යාත්මයන් නිර්දය ලෙස අවමානය තුළ දියකර හරිමින් තිබුණා. පවුලේ කිසිවෙකු පාසල් නොගිය පෙළපතකින් පැවත ආ මැන්ඩෙලා නැගී සිටින්නේ එබඳු ප්‍රබල වර්ගවාදයකට එරෙහිව.

ඔහු විරුද්ධ වූයේ ලෝකයේ බලවත්ම රාජ්‍යයන් විසින් වෙනස් කළ නොහැකි ලෙස ලොවපුරා පතුරුවනු ලැබූ වර්ණභේදවාදයේ සහ වර්ගවාදයේ වෛරසයට එරෙහිවයි. එය හුදු අවි දැරූ සටනකින් පමණක් කළ හැකි දෙයක් නොවේ. ආකල්ප සහ විශ්වාසයන් විසින් මඬනා ලද, වසර දහස් ගණනක් තිස්සේ වහල් බවට, අගතියට සහ අධිරාජ්‍යවාදයට හුරුවුණ මනස් වෙනස් කිරීමේ මහා මානව සංග්‍රාමයක් කිරීමේ වගකීම ඔහු ඇතුළු පිරිස කරට ගත්තා. ඒ දශක ගණනාවක් වෙහෙසකර ගමනේ දී තමන් ලොව පාලනය කිරීමට උපන්නායැයි දැඩිව විශ්වාස කළ සුදු මොළවලට කල්ලන් යනුත් මිනිසුන්ම බව වටහා දීමේ අසීරු කාර්යයේ ඔහු නිරත වුණා. වැදගත්ම දෙය වන්නේ ඔහු තමන් කරන දෙය සහ එහි සාර්ථකත්වය කෙරෙහි තැබූ නොසෙල්වුණු විශ්වාසයයි.

නෙල්සන් මැන්ඩෙලා ගේ මරණයේ පුවත ලොව පුරා පැතිරීමත් සමග ගෙවුණු අන්ධකාර රාත්‍රියේ මැන්ඩෙලාගේ ජොහැන්නස්බර්ග් නිවස වටා රැස් වූ සිය ගණන් ජනතාව ඔහු වෙනුවෙන් ගී ගැයුවා. එය ශෝකී වැළපුමකට වඩා උත්සවාකාරී සැමරුමක්. ඔහුගේ සේයාරූ සහ ඉටිපන්දම් අතින් ගෙන නිවස දෙට පා ගමනින් ඇදුණු ඔවුන් ‘නෙල්සන්’ කියමින් කෑ ගැසුවා. ‘සමදානයේ සැතපෙන්න මෙඩිබා’ ඔහුගේ නිවස ඉදිරිපිට ඔවුන් එල්ලූ සේයාරුවක එසේ ලියා තිබුණා.

කළු ජාතිකයින් වසන සොවේටෝ ප්‍රදේශයේ වීදිවලට බට ජනතාව ගී ගයමින් සහ නටමින් ඔහුගේ මරණය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කළ අතරම ඒ අසීමිත මිනිසා ඔවුන්ට සහ මානව වර්ගයාට අත්පත් කර දුන් ජයග්‍රණයන් ද සැමරුවා. සොවේටෝ යනු ඔහු වරක් ජීවත් වූ ප්‍රදේශයයි. මෙඩිබා යන ඔහුගේ ගෝත්‍රික නමින් ඔහු හැඳින්වූ වත්මන් දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා පැවසුවේ දකුණු අප්‍රිකාවේ ශ්‍රේෂ්ඨතම පුත්‍රයා සාමයෙන් මරණය වැළඳගත් බවයි. “අපට අපගේ පියා අහිමි වුනා” ජනාධිපති ජේකබ් සුමා තවදුරටත් කීවා.

තවත් පිරිසක් විලකාසි වීදියට රැස්ව රවුමට අත් අලවාගෙන වර්ණභේදවාදයට එරෙහි ගීත ගායනා කළා.

“අපි ඔහුගේ ජීවිතය වගේම අප වෙනුවෙන් කළ සියලු දෙය සමරනවා.” 47 හැවිරිදි ටෙරී මොකෝනා (නගර වැසියෙක්) පැවසුවා. “මට සතුටුයි. ඔහු ට සාමය අත්වුණා. ඔහු අප වෙනුවෙන් අප්‍රමාණ වූ දේවල් කළා. තවත් දේවල් කරන්න කියල අපි ඔහුගෙන් ඉල්ලනව නම් ඒක ආත්මාර්ථකාමී කමක්. මැන්ඩෙලා අපිව එක්සත් කළා. කලු- සුදු- වර්ණවත්- ඉන්දියානු- මේ හැමෝවම. ඔහු අපිට එකමුතුබව ඉගැන්වුවා”

“ඔහු සොවේටෝවලට ආවෙ නීතිඥයෙක් විදිහට. ඔහු අපිව මෙහෙයෙවුවා. 1994, අවුරුදු 27 කට පස්සෙ ඔහු හිරෙන් එළියට ආවෙ වෛරයෙ තිත්ත සමග නෙවෙයි. ඔහු ආවෙ සාමයේ පණිවුඩයත් එක්ක.” 37 හැවිරිදි සොවේටෝ වැසියෙකු වන ම්බුලේලෝ රඩිබි ප්‍රකාශ කළා.

ජොහැන්නස්බර්ග් නගරයේ නෙල්සන් මැන්ඩෙලා චතුරශ්‍රයේ ඇති මීටර් හයක් උස මැන්ඩෙලා පිළිරුව අසල සිටගත් පුරවැසියන් හය දෙනෙකු සිය නායකයාට ප්‍රණාමය දැක්වුවා. සුදු ජාතිකයින් දෙදෙනෙක්, කලු ජාතිකයින දෙදෙනෙක් සහ ඉන්දියානුවන්ගෙන් පැවත එන්නන් දෙදෙනෙකු වශයෙන්. එයින් නියෝජනය කළේ මැන්ඩෙලා සිය ජීවිතය සහ නිදහස පරිත්‍යාග කරමින් සටන් කොට දිනාගත් දකුණු අප්‍රිකාවේ ‘දේදුණු ජාතිකත්වය'(Rainbow Nation) සංකේතවත් කරමින්.

source – ApeRata.net

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here