නෙල්සන් මැන්ඩෙලා ගමන් ගත් මගෙහි යාමට තමන් ලොව සියලූ නායකයින්ට ආරාධනා කරන බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව අද (24) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී ආරම්භ කෙරණු නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතමිනි.

නෙල්සන් මැන්ඩෙලා ජන්ම ශත සංවත්සරය සමරමින් මෙම සාම සමුළුව සංවිධානය කර තිබුණි.

සාමය, සංහිඳියාව සහ මානවවාදය පිළිබඳ ලෝකයට වැදගත් පාඩම් කියාදුන් විශිෂ්ට චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා චරිතය අද සියලූ ලෝක නායකයින් අධ්‍යයනය කළයුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

නෙල්සන් මැන්ඩෙලාගේ විශිෂ්ට චරිතය හා එම ගමන් මග සිහිපත් කිරිමට සිදුව ඇත්තේ අද ලෝකය ගමන් ගන්නේ එවන් මගක නොවන නිසා බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා බලය අතහැරීම සහ බලය සීමාකිරීම පිළිබඳ එතුමාගේ චරිතය ආදර්ශයන් රැසක් ලබාදුන් බව සඳහන් කළේය.

සාමය පිළිබඳ ගමන් මග ලොවට කියා දුන් ශ්‍රේෂ්ට මානවවාදී චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා චරිතය වෙනුවෙන් මෙවන් සාම සමුළුවක් සංවිධානය කිරීම පිළිබඳ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ස්තූතිය පිරිනැමීය.

ජනාධිපතිතුමා කල කතාව

(2018-09-24 නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය)

ගෞරවනීය සභාවෙන් අවසරයි,

නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පැවැත්වීමට තීරණය කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඇතුළු එහි විධායක මණ්ඩලයට ශ‍්‍රී ලංකා ජනතාවගේ සහ ජන රජයේ ගෞරවණීය ප‍්‍රණාමය සහ ස්තූතිය පුද කරනවා.

නෙල්සන් මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨ මානවවාදී නායකයෙක්, ලෝකයට සංහිඳියාව පෙන්නුම් කළ නායකයෙක්, මානව සමාජයට විශිෂ්ට ගමනක් යාමට අවශ්‍ය මාර්ගය කියාදුන් නායකයෙක් පිළිබඳව අපි අද කතා කරන්නේ එවැනි නායකයින් අද ලෝකය තුළ නැති නිසයි. නෙල්සන් මැන්ඩෙලා චරිතය ප‍්‍රධාන වශයෙන්ම ලෝකයට පෙන්නුම් කළේ බලය අත්හැරීම සහ බලය සීමා කිරීම පිළිබඳව කොතෙක් දුරට මානවවාදී ලෙස කටයුතු කළයුතු ද යන්නයි.

අද ලෝකය ගමන් කරන්නේ ඒ ශ්‍රේෂ්ට නෙල්සන් මැන්ඩෙලා ගමන් කළ මගෙහි නොවෙයි. ඒ නිසා තමයි මැන්ඩෙලා ගිය ගමන පිළිබඳව ලෝකයට සිහිපත් කිරීමට සිදුව තිබෙන්නේ. අද ජීවත්වන නායකයින් තුළ, ලෝකයට දේශපාලන ගමන් මග පෙන්වන බොහෝ නායකයින් තුළ නෙල්සන් මැන්ඩෙලා චරිතයේ ලක්ෂණ කොතෙක් දුරට තිබෙනවාද කියන ප‍්‍රශ්නය මතු වෙනවා. ඒ නිසා සාමය, සංහිඳියාව, ජාතින් අතර සමගිය මානවවාදී විශිෂ්ට ගමනක් පිළිබඳ ලෝකයට කියාදුන් එවැනි විශිෂ්ට නායකයකුගේ චරිතය ප‍්‍රධාන වශයෙන්ම අධ්‍යයනය කළ යුත්තේ අද සිටින ලෝක නායකයින් කියන එකයි මම විශ්වාස කරන්නේ.

ඒ තුළ ගැබ්ව තිබූ මානවවාදී ගැඹුරු බව, මිනිසුන් කෙරෙහි දැක්වූ ආදරය, විශේෂයෙන්ම බලය පිළිබඳ තිබූ ආශාවෙන් ඉවත්වීම ලෝකයට මහඟු ආදර්ශයක්. ශ‍්‍රී ලංකා ජනරජයේත්, ජනතාවගේත් ගෞරවය ප‍්‍රණාමය නෙල්සන් මැන්ඩෙලා චරිතයට පුදකරනවා වගේම ලෝකයේ සියලූ නායකයින්ට මම ආරාධනා කරනවා නෙල්සන් මැන්ඩෙලා වැනි විශිෂ්ට නායකයෙක් ගිය ගමන අපි සෑම කෙනෙක්ම යමුයි කියලා.

ඔබ සියලූදෙනාටම ස්තූතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here