ඕනෑම හන්දියකින් රියැදුරු පුහුණුවක් ලබාගත හැකි තරමට රියැදුරු පාසල් ව්‍යාප්ත වෙමින් පවතී. රටට ගෙන්වන වාහන ප්‍රමාණය අධික වීමත්; රියදුරු පුහුණුව උගන්වන ආයතන පිළිබඳ නියාමනයක් නොතිබීමත් මීට හේතු – සාධක වන්නට පුළුවන. කෙතරම් රියැදුරු පාසල් තිබුණ ද හොඳ රියැදුරන් සොයාගැනීම අපහසු ය. රටේ සිදුවන රිය අනතුරු දෙස බලන විට එම තත්ත්වය තහවුරු වෙයි. වසරකට ශ්‍රී ලංකාව තුළ රිය අනතුරු 35,000ක් පමණ සිදු වන බවත්; එයින් 3000ක් පමණ මිය යන බවත් හෙළිදරව් වී තිබේ. මේ අනතුරුවලින් 85%ක් පමණ රියැදුරන්ගේ නොසැලකිල්ල නිසා සිදුවන බවද දැනගන්නට ලැබේ.

රිය පැදවීමේ විනය හා වගවීම දෙස බලන විට පළමුවෙන් ම සිහියට නැ‍ඟෙන්නේ ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ රියැදුරන් ය. මාර්ග නීති, සංඥා, ධාවනය වන වෙනත් රථ වාහන ගැන නොසලකා ත්‍රිරෝද රථ ඉගිල්ලෙන්නට හදන බවයි. ඔවුන් පාර පුරා රථය ධාවනය කරන බව සමහරු පෙන්වා දෙති. ත්‍රිරෝද රථයක් පාරට දැමීම හොඳම ආදායම් මාර්ගය ලෙස සමහර තරුණයෝ දකිති. දැනට කොළඹ නගරයේ පමණක් ත්‍රිරෝද රථ ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වන බව හෙළිදරව් වී ඇත. ඇතැම් රියදුරන්ට නිසි පුහුණුවක් නැති අතර තවත් අයට රිය පැදවීමේ බලපත්‍රය පවා නැති බව දැනගන්නට ඇත. ත්‍රිරෝද රථ බහුල ලෙසින් අනතුරුවලට ලක්වන බව ද පිළිගත යුතු සත්‍යයෙකි.

ත්‍රිරෝද රථ ඔස්සේ මතු වන ගැටලුවත්; රටේ සිදුවන රිය අනතුරු ප්‍රමාණයත් දෙස බලන විට පෙනී යන්නේ රිය පැදවීම පුහුණු කරන ආයතන තුළද, රිය පැදවීමේ බලපත්‍ර ලබා දෙන ආයතන තුළ ද යම් ගැටලු පැවැතිය හැකි බව ය. ශ්‍රී ලංකාව තුළ සහතික ලත් රියදුරු උපදේශකයන් ඇත්තේ 1500ක් පමණක්යැ’යි දැන ගන්නට ලැබේ. එය සත්‍යයක් නම්; රට පුරා ඇති සියලු රියැදුරු පාසල්වල සහතිකලත් උපදේශකයන් ඇතැ’යි සිතන්නට බැරිය. රියදුරු උපදේශකකම පියාගෙන් පුතාට හුවමාරු වන තත්ත්වයක් දකින්නට ඇති බව ද සමහරු කියති. මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව පවා රියැදුරු බලපත් ලබා දීමේ දී පුහුණුව නිසි ආකාරයෙන් නිරීක්ෂණය කරන බවක් පෙනෙන්නට නැත.

අප දන්නා ඇතැම් අය කිසිදු රිය පැදවීමේ පුහුණුවකින් තොරව අධික මිලක් ගෙවා රියැදුරු බලපත්‍රය ලබාගෙන තිබේ. එහි අදහස වන්නේ රියැදුරු බලපත්‍රය මුදලට අලෙවි වන බව ය. රියදුරු පාසල්වල ද බලපත්‍රය සඳහා අධික මුදලක් අය කරනු දකින්නට පුළුවන. ඇතැම් පාසල්වල දී පරීක්ෂකවරයාට යැයි කියමින් අමතර මුදලක් ද අය කරයි. මාස තුනක රියදුරු පුහුණුවක් ලබා දීමට මේ පාසල් බැඳී සිටිය ද කිසි ම පාසලක් මාස තුනක පුහුණුව ලබා දෙන්නේ නැත. දිනකට විනාඩි දහයක් හෝ පහළොවක් බැගින් වාර දහයක් හෝ වාර විස්සක් හෝ රිය පැදවීමට අවස්ථාව ලබාදීම මේ ආයතනවල සිරිත ය.

කලකට පෙර ලංගමය රියැදුරු පුහුණුව ලබා දුන්නේ තෝරාගත් වෙනම ධාවන පථවල ය. එම රියැදුරන්ට මහා මාර්ගයේ රථය ධාවනයට ඉඩ ලැබෙන්නේ සැලැකිය යුතු පුහුණුවකින් පසුව ය. එහෙත් දැන් පවතින ඇතැම් රියැදුරු පුහුණු පාසල්වලට ඇත්තේ කුඩා කාමර කෑල්ලක් පමණි. ඔවුන්ගේ සියලු පුහුණු කිරීම් සිදු වන්නේ මහා මාර්ගය මතය. මේ නිසා රථවාහන තදබදයක් ඇතිවන අවස්ථාද තිබේ. බොහෝ රියැදුරු පාසල්වල නියම උපදේශකයන් පමණක් නොව; අවශ්‍ය අවම පහසුකම් ද නැත. ඇතැම් පාසල්වල මාර්ග නීති ආදිය හරිහැටි උගන්වන්නේ ද නැත. මෙබඳු ආයතන වෙතින් රිය පුහුණුව ලබා ගන්නා අය විනීත රියැදුරන් වීමට පුළුවන්කමක් නැත.

පිළිගත හැකි රියදුරු පාසලක් නම්; එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබිය යුතුය. වසර දෙකෙන් – දෙකට එම ලියාපදිංචිය අලුත් කළ යුතුයැයි ද ප්‍රවාහන අමාත්‍යාංශය කියා සිටී. රට පුරා හන්දියක් – හන්දියක් ගණනේ ඇති රියැදුරු පාසල් එසේ ලියාපදිංචි වී තිබේ ද යනු ගැටලුවෙකි. එසේ ලියාපදිංචි වීමේ දී ආයතනය සතු පහසුකම් හා සම්පත් ගැන නිරීක්ෂණයක් සිදු කෙරෙන්නේ ද යනු තවත් ගැටලුවෙකි. රියැදුරු පාසල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් එක අතෙකින් මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව වගකිව යුතු යැයි කිව හැකිය. මන්ද? පුහුණුවට එන පුද්ගලයන් මේවා ලියාපදිංචි වගකිව යුතු ආයතන ලෙස සලකන බැවිනි. ලංගමය රියැදුරු පුහුණුව ලබා දෙන කාලයේ මේ බොහෝ දේවල් නීතියට අනුව සිදුවූ බව අපට මතක ය. එදා රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමද පහසු නැත. ප්‍රායෝගික පුහුණුව ඉතා දුෂ්කර එකක් බව ද කියැවේ.

රියැදුරු බලපත්‍රය සම්බන්ධයෙන් අලුත් යෝජනා ද ඉදිරිපත් වී ඇත. එක යෝජනාවකින් කියැවෙන්නේ වයස අවුරුදු 16 දී රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමේ අවස්ථාව ඇති කළ යුතු බව ය. දැනට රියැදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතුය. තවත් යෝජනාවකින් කියැවෙන්නේ රියැදුරු බලපත්‍රය ලබාගත් තැනැත්තා වසරක පරිවාස කාලයකට යටත් කළ යුතු බවය. ඒ අනුව පරිවාස කාලය නිමවන තුරු අදාළ වාහනයේ ස්ටිකරයක් ඇලවිය යුතුය. මේ මගින් රිය අනතුරු අවම කළ හැකියැයි සිතන්නට පුළුවන. වයස අවුරුදු 16 දී රියදුරු බලපත්‍රය සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීම ද නරක නැත. දැනටම බලපත්‍ර නැතිව වාහන පදවන යෞවන යෞවනියෝ ඕනෑතරම් සිටිති. ඒ අයට අවස්ථාවක් ලබාදීම ද වැදගත් ය.

ප්‍රවාහන අමාත්‍යවරයා පෙන්වා දෙන ලෙස රිය පුහුණු විභාගය අදට ගැළපෙන අයුරින් විධිමත් කළ යුතුය. ලිඛිත විභාගය මෙන් ම ප්‍රායෝගික පරීක්ෂණය ද මීට වඩා අර්ථ සම්පන්න එකක් බවට පත් කළ යුතු යැයි ඇමැතිවරයා පෙන්වා දෙයි. එය වැදගත් අදහසක් ලෙස සැලැකිය හැකි ය. රියදුරු පුහුණුවට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය ලිහිල් වැඩි යැයි බොහෝ දෙනා පෙන්වා දෙති. ප්‍රවාහන අමාත්‍යාංශයේ අලුත් තීරණවලට අනුව බහුල ලෙසින් වැරැදි කරන රියැදුරන්ගේ රියැදුරු බලපත්‍රය අවලංගු කිරීමට පියවර ගනී. එය අකුරට ම ක්‍රියාත්මක කරන්නැ’යි අමාත්‍යවරයා අදාළ අංශ වෙතින් ඉල්ලා සිටී. අනතුරු වළක්වා ගනු ලබන හා දඬුවම් ලබා නැති රියැදුරන් සම්බන්ධයෙන් අගය කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන බව ද අමාත්‍යවරයා කියා සිටී. ජපානය වැනි රටවල රියැදුරන් සඳහා සම්මාන දෙන වැඩසටහන් ද පවතී.

එක අතෙකින් රිය අනතුරු වළක්වා ගත යුතුය. තව අතෙකින් රියැදුරු බලපත් ලබා දීමේ සාධාරණ ක්‍රමවේදයක් ඇති කළ යුතුය. මේ දෙකට ම හොඳ නියාමනයක් ගෙන ගියහොත් රිය අනතුරු අවම වන්නට පුළුවන. විනීත රියැදුරන් බිහිවන්නටත් පුළුවන.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here