‘‘කොල්ලෙක් කෙල්ලෙක්ව කෝච්චියට තල්ලු කරලාලු‘‘ පසුගිය ජූලි මාසයේ බොහෝ පිරිසක් අතර සැකයක් මතුකල සිද්ධියක් වූයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී තරුණියක් දුම්රියට තල්ලුකළ සිද්ධියක් සම්බන්ධ පුවතකි. එයින් දින කිහිපයකට පසුව සිද්ධියට සම්බන්ධ බව කියන තරුණයෙකුගේ මළ සිරුරක් ලිඳක තිබී හමුවුණි.

මෙලෙස මියගිය තරුණයාගේ අභිරහස් මරණය පිටුපස කුමක් හෝ අදිසි හස්තයක් ඇති බව ඔහුගේ මවට වැටහී තිබුනි. ඒ නිසාම ඇය මහේස්ත්‍රාත්වරයාට පැවසුවේ මේ මරණය ගැන තමන්ට සැක බවයි. ඒ ප්‍රකාශය නිසාවෙන් පොලිසිය මාස කිහිපයක් පුරා මේ සිද්ධිය ගැන විමර්ශන සිදුකරන්නට විය.

නිමේෂාත්, සංකල්පත් මෙලෙස අවසන් ගමන් ගියේ ආදරයේ නාමයෙන්ද, නැතිනම් වෙනත් ප්‍රශ්නයක් නිසාද ? යන්න කාටත් තිබූ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන පොටක් පොලිසියට සොයාගැනීමට හැකිවිය. ඒ සිද්ධිය හා ඈඳුණු නිමේෂාගේ සහෝදරයාගෙනි.

“මම නුවර ඉඳලා එන කෝච්චියේ ආවේ. කෝච්චියේ එද්දී මම දැක්කා ස්ටේෂන් එකට ටිකක් එහා තැනකදී කොල්ලෙක් මගේ නංගිට ගහනවා. මම කෝච්චිය නවත්තපු ගමන් බැහැලා ඒ පැත්තට යද්දී ඒ කොල්ලා නංගිව අනිත් පැත්තෙන් ආපු කෝච්චියට තල්ලු කළා” නිමේෂාගේ අයියා ලොකු විශ්වාසයකින් මෙන් කී ඒ කතාව කාටත් විශ්වාස කරන්නටම සිදු වූයේ ය.

නමුත් සිදුවූයේ එවන් දෙයක් නොවේ. එය සාක්ෂි සහිතව ඔප්පු වුනේ රඹුක්කන දුම්රියේ රියැදුරුගේ නමින් අම්බලන්ගොඩ ‍පොලිස් ‍පොතේ ලියැවුණු කතාව නිසාවෙනි.

“මහනුවර ඉඳලා මාතර යන කෝච්චිය පිටත් වුණාට පස්සේ තමයි අපි අම්බලන්ගොඩින් ආවේ. හැමදාම ඔය වෙලාවට පන්තිවලට යන ළමයි රේල් පාරේ ඔය හරියේ යන නිසා කොහොමටත් ටිකක් හෙමින් තමයි කෝච්චිය අරගෙන ආවේ. අපි ඉස්සරහට එද්දී මගේ සහායක රියැදුරු මට පෙන්නුවා පිරිමි ළමයෙක් තව පිරිමි ළමයකුයි, ගැහැනු ළමයකුයි අත් දෙකෙන් අල්ලගෙන රේල් පාර අයිනෙන් ඉස්සරහට ආපු හැටි. ඒක ඒ අයගේ ප්‍රශ්නයක් වෙන්න ඇතිනේ කියලා අපි වැඩිය හිතන්න ගියේ නැහැ. විනාඩියක් යන්නත් කලින් අපි දැක්කා ඒ ගැහැනු ළමයා අපේ කෝච්චිය පැත්තට පාර අයිනෙන් දුවගෙන එනවා අපි හිතුවේ ඒ ළමයා කෝච්චියට නගින්න දුවගෙන එනවා කියලා. එහෙම හිතලා වේගෙත් ටිකක් අඩු කළා. වේගේ අඩුකරගෙන එද්දීම වගේ මගේ සහායක රියැදුරු කිව්වා ‘දැන් වැඩක් නැහැ වගේ’ කියලා. අපි කෝච්චිය නතර කළා. ඒ වෙද්දිත් ඒ ළමයා නැති වෙලා.”

‍පොලිස් ‍පොතේ ලියැවුණු ඒ කතාව තහවුරු කරනා රූප පෙළක් අසල නිවසක සී.සී.ටී.වී. කැමරාවක සටහන් වීද තිබුණේය. නිමේෂා දුම්රිය මාර්ගය අසලින් ඉදිරියට දිව යන සැටි සී.සී.ටී.වී. කැමරාවේ හඳුනාගත හැකි ලෙස පෙළගැස්වී තිබුණෙන් නිමේෂාගේ අයියාට තමන්ගේ කතාව වෙනස් කරන්නට සිදු විය.

මියගිය නිමේෂා නැතිවුණු සොවින් පෙම්වතාට මියගිය බවට කතා පැතිරුණත් පොලිසිය එය විශ්වාස කලේ නැත. ඔවුන් නිමේෂාගේ අයියා පසුපස යන්නට විය. මේ සැකයට මුල්පොට පෑදුනේද තමන්ගේ නංගීව තරුණයෙන් විසින් දුම්රියට තල්ලුකළ බවට ඔහු කී මුල්ම බොරු සාක්ෂිය නිසාය.

රඹුක්කන සිටි මේ අයියා විසින් නංගීගේ මරණය තමන් නිසා සිදුවූ බව දැනගෙන බොරු ගෙතුවද නංගිගේ පෙම්වතා ජීවතුන් අතර සිටීම ඔහුට ප්‍රශ්නයක් බව සිතන්නට ඇත. ඒ නිසාම ඔහු කාටත් රහසේ සංකල්ප පසුපස යන්නට විය. ඔහුට සංකල්පව අල්ලාගැනීමට මහලොකු කාලයත් ගතවූයේ නැත.

ගජමිතුරු ත්‍රීවිල් රියදුරෙකුද මේ සඳහා උදව් වූ බව අපට දැනගන්නට ලැබේ. නංගීගේ මරණය ගැන ගමම කතාවෙද්දී ඇයගේ පෙම්වතා සංකල්පද මියගිය බව ලැව්ගින්නක් සේ පැතිර ගියේය. ඇත්තෙන්ම ඔහු මියගියා නොව මරාදමා ඇති බව මේ වන විට සැකහැර දැනගෙන තිබේ.

මෙය සිදුකර ඇත්තේ වෙනකවුරුත් නොව තරුණියගේ අයියායි. ඔහු මේ වන විට රඹුක්කන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. නැගණිය මැරුණු දා මේ සැලැස්ම ක්‍රියාත්මක කර ඇති ඔවුන් සංකල්ප අල්ලාගෙනවිත් අසළ ලිඳක ගිල්වා මරාදමා ඇති බව මේ වන විට සැකහැර දැනගෙන තිබේ.

ඔවුන් හෙට (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද දැනගන්නට ලැබේ.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here