මධ්‍යසාර සහ එහි නිෂ්පාදන කටයුතු පිළිබඳව ජාත්‍යන්තර ප‍්‍රඥප්තියක අවශ්‍යතාවය පෙන්වා දෙන ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ සඳහා ජාත්‍යන්තරයේ අවධානය යොමුවිය යුතු බව සඳහන් කරයි.

ජනාධිපතිතුමා මෙම අදහස් පළකරන ලද්දේ අද නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ 73 වන මහ සභාවට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය, බෝ නොවන රෝග සහ තිරසර සංවර්ධනය පිළිබඳ සම්මන්ත‍්‍රණයට ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වී ඉදිරිපත් කරන ලද ප‍්‍රකාශයක් මගිනි.

මෙම ප‍්‍රකාශය සභාව වෙත ඉදිරිපත් කරන ලද්දේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලි චම්පික රණවක මහතා විසිනි.

මධ්‍යසාර පාලනයට ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් සඳහා ගනු ලබන ඕනෑම ක‍්‍රියාමාර්ගයන් වෙත ශ‍්‍රී ලංකාව සහය දක්වන බව ද එම ප‍්‍රකාශයෙහි වැඩිදුරටත් සඳහන් ව තිබේ. එමෙන්ම ජාතික මධ්‍යසාර හා දුම්කොළ සඳහා ජාතික අධිකාරියක් පත්කිරීම, මධ්‍යසාර ප‍්‍රචාරක දැන්වීම් තහනම් කිරීම යනාදි වශයෙන් ශ‍්‍රී ලංකාව මේ වනවිට මධ්‍යසාර මර්දනයට ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සඳහන් වී තිබේ.

ශ‍්‍රී ලංකාව මධ්‍යසාර වලින් විශාල බදු මුදලක් ලබාගන්නා නමුත් ඉන් ජනතාවට සිදුවන ශාරීරික හානිය හා වැළදෙන රෝග අතිවිශාල බව ද ජනාධිපතිතුමා විසින් මෙහිදී පෙන්වා දී තිබේ.

සමාජ ජාල මගින් මධ්‍යසාර හා නිෂ්පාදන ප‍්‍රචාරයන්, ලොව පුරා පැතිරෙන බැවින් එය පාලනය කිරීමට ස්වාධීන රාජ්‍යයන්වලට හැකියාවක් නොමැති අතර, ඒ සඳහා පවතින ජාත්‍යන්තර ප‍්‍රඥප්තියක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා විසින් මෙහිදී පැහැදිළි කර තිබේ.

එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ලබන වසරේ පැවැත්වීමට නියමිත ගෝලීය මත්පැන් ප‍්‍රතිපත්තිය පිළිබඳ සම්මන්ත‍්‍රණය සඳහා සහභාගී වන ලෙසට ජනාධිපතිතුමා විසින් සියලූ ජාත්‍යන්තර නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබුණි.

මෙහිදී සභාව ඇමතු එස්ටෝනියාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කර තිබූ ප‍්‍රකාශය පිළිබඳ ප‍්‍රශංසා කළ අතර ලොවටම ආදර්ශයක් වන එවැනි ප‍්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය ස්තුතිය ද පළ කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here