මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය රජය සමයේ අනිසි අයුරින් උපයාගත් මුදලින් මිල දී ගත් දේපළ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටියදී නොරොච්චෝලේ බලාගාරය ඉදිකළ චයිනා මැශිනරි ඇන්ඩ් ඉංජිනියරින් සමාගමෙන් (CMEC) ලබාගත් කොමිස් මුදල් ඇතුළු ඇමරිකානු ඩොලර් මිලියන 25.40ක මුදලක් සිංගප්පූරු ගිණුම් තුනකට යොමුකර තිබුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇත. ඒ බව B 22477/15 යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ද දැනුම් දී තිබේ.

මෙලෙස උපයාගත් මුදලින් මහින්දානන්ද මිලදී ගත් දේපළ වන්නේ,

1. නාවල, කොස්වත්ත, චන්ද්‍රා වෙත්තසිංහ මාවතේ අංක. 15/1 දරණ පර්චස් 33ක් සහිත ඉඩම සහ නිවස – රු. ලක්ෂ 380

2. මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා මාවතේ පර්චස් 12 බැගින් ඉඩම් කට්ටි 3 – රු. ලක්ෂ 500

3. කොළඹ, කිංසි පාරේ කිංසි ටවර් හි අංක. 70/3/1 දරණ මහල් නිවාසය – රු. ලක්ෂ 300

4. බොරැල්ල කුරුප්පු පාරේ පර්චස් 20ක ඉඩම

5. කොළඹ 08 ට්‍රිලියම් රෙසිඩන්සීස් හි නිවසක්

6. එංගලන්තයේ ලන්ඩන් නුවර Flat 04, Blyton house, 19-23, Sydenham Hill, London, SE26 6SH දරණ ලිපිනයේ සුඛෝපභෝගී මහල් නිවස ය.

මීට අමතරව සිංගප්පූරු HSBC බැංකුවේ ගිණුමක ඇමරිකන් ඩොලර් ලක්ෂ 5ක තැන්පතුවක් ද ඔහුට හිමිව ඇත.

මේ සියල්ල පිළිබඳ සම්පූර්ණ විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2016 වසරේ සැප්තැම්බර් 22 වන දින අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර නඩු විභාගය යෙදී තිබුණු 2017 නොවැම්බර් 20 හා 21 දිනයන්හි මහින්දානන්ද අලුත්ගමගේ අයවැය විවාදය පෙන්වා අධිකරණය මඟහැරීම හේතුවෙන් අධිකරණය විසින් ඔහුගේ ඇපකරුවන්ට නොතීසි නිකුත් කර තිබිණි.

මහින්දානන්ද අලුත්ගමගේ යනු 1987 වසර වන විට ‘ද ෆිනෑන්ස්’ සමාගමේ කෑගල්ල ශාඛාවේ ණය අයකර ගැනීමේ නිලධාරියෙකි. එවන් සාමාන්‍ය රැකියාවක් කළ පුද්ගලයකු වසර 30කදී මෙතරම් දේපළ හිමිකර ගැනීමෙන් පෙන්නුම් කෙරෙන්නේ මහින්දානන්දලා නියැළී සිටි දූෂිත දේශපාලනයේ ආශ්චර්යයයි. අනෙත් අතට මින් තේරුම් ගත යුතු වන්නේ මහින්දානන්දලා වැනි ගෝලයින් මෙතරම් සොරකම් කළා නම් ඔවුන්ගේ හාම්පුතුන් වූ රාජපක්ෂලා කෙතරම් නම් සොරකම් කර ඇත්ද යන්නයි.

මහිදානන්දලා මේ සොරකම් කළේ රටේ ඉදිරි පරපුරත් ලෝකය හමුවේ ණයකරුවන් කරමිනි. ඔවුන් කළ සොරකම් වලට ද ගෙවන්නට සිදුවන්නේ රටේ අනාගත පරපුරටය. මෙහි සැබෑ ඛේදවාචකය වන්නේ එයයි. මහින්දානන්දලා අද ඒකාබද්ධ විපක්ෂයට වී රට ජාතික ගැන මොරදෙන්නේ රට ගැන හැඟීමකින් නොව ඩොලර් මිලයන ගණනින් තමන්ට හොරාකෑමට තිබුණු ඉඩ අවහිරවීමේ වේදනාවෙන් බව ඔප්පු කරන්නට මීට වඩා සාක්ෂි අවශ්‍ය නැත. රට ගැන සැබෑ හැඟීමක් ගෑවී හෝ තිබිණි නම් ඔවුන් රට උකසට තබා ඩොලර් මිලියන ගණනින් හොරාකන්නේ නැත.

aperata.net

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here