සෝමරත්න දිසානායක කියන්නේ ලංකාවේ චිත්‍රපට කර්මාන්තයට විවිධ නිර්මාණ එකතු කරන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ළමා චිත්‍රපට තුළින් ළමා මනස ස්පර්ෂ කළ ඔහු මේ වනවිට වැඩිහිටියන්ට පමණයි ලේබලයට නිර්මාණයක් ගේනවා කියලා ආරංචියක් තියෙනවා. ඉතින් ඔහු ඒ ගැන පුවත්පතක් සමග කියලා තිබුණේ මේ විදියට.

ප්‍රවීණ සිනමාකරුවෙක් විදිහට ඔබට ජාත්‍යන්තර සිනමා උළෙලක් කියන්නේ ආගන්තුක දෙයක් නෙවෙයි. නමුත් ඔබේ චිත්‍රපටයක් වෙනුවෙන් පසුගිය දා ඔබ බූසාන් සිනමා උළෙලට සහභාගි වූ අවස්ථාව නම් ඔබට තරමක් විශේෂයි කියලා කියන්න පුළුවන් නේද?
ඔව් ඒ විශේෂත්වය තමයි එම සිනමා උළෙලේ දී ප්‍රදර්ශනය කෙරුණු මගේ නවතම චිත්‍රපටය මම මීට පෙර නිර්මාණය කළ චිත්‍රපටවලට වඩා බොහෝ සෙයින් වෙනස් එකක්වීමග එය වැඩිහිටියන්ට පමණක් නැරඹීමට සුදුසු චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම තමයි “අන්ඩර් පෑන්ට්ස් තීෆ්” සිංහලෙන් කියනවා නම් “ජංගි හොරා”.

ළමයින් වෙනුවෙන් චිත්‍රපට හදලා සිංහල සිනමාවේ ආදායම් වාර්තා පිහිටවපු ඔබ ඇයි වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක් හදන්න හිතුවේ?
මම මීට පෙර නිර්මාණය කළ හැම චිත්‍රපටයක්ම ළමයින් මූලික කරගත් ඒවා බව ඇත්ත. ඒවා ළමයින්ද ඇතුළුව පවුලේ සැමට නැරඹීමට සුදුසු චිත්‍රපට. නමුත් මට හිතුනා සිනමාකරුවෙක් විදිහට මම හැමදාම එකම සීමාවකට කොටු වී සිටිය යුතු නැහැ කියලා. එහි ප්‍රතිඵලය තමයි මේ චිත්‍රපටය.

අමුතුම විදිහේ නමක් එක්කල අමුතුම කතාවක්ද මේ චිත්‍රපටයෙන් ඔබ කියන්න හදන්නේ?
හරියට හරි. මෙහි ප්‍රධාන චරිතය එක්තරා මානසික ව්‍යාධියකින් පෙළෙන පුද්ගලයෙක්. ඔහු කාන්තා යට ඇඳුම් හොරකම් කරනවා. ඔහුගේ මේ හැසිරීම ඔහුගේ පවුලේ උදවියටත් විශාල ගැටලුවක් වෙනවා. පුබුදු චතුරංග තමයි මේ චරිතය රඟපාන්නේ.

ඔබ මීට කලින් තිරයට ගෙන ආ “සරිගම” චිත්‍රපටය පාඩු ලැබිම මේ විදිහේ චිත්‍රපටයක් හදන්න ඔබව පෙළඹුවා කියන්න බැරිද?
”සරිගම” පාඩු ලැබුවේ නැහැ. චිත්‍රපටයට ගිය වියදම හොයාගන්න මට පුළුවන් වුණා. හැබැයි මගේ වෙනත් චිත්‍රපට වගේ ආදායම් වාර්තා පිහිටුවන්න සරිගම චිත්‍රපටයට නොහැකි වූ බව නම් ඇත්ත.

ඊට කලින් ඔබේ චිත්‍රපටවලට එවැනි ඉරණමක් අත් වුණේ නැහැ. ඇයි මෙදා පාර විතරක් ඔබ ගහපු තුරුම්පුව වැරදුණේ?
එහෙම වුණේ චිත්‍රපටයේ වරදක් නිසා නෙවෙයි. “සරිගම” කියන්නේ ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබෙන විදිහේ චිත්‍රපටයක්. නමුත් අපේ සිනමා කර්මාන්තයේ පවතින චිත්‍රපට බෙදා හැරීමේ වියවුල නිසයි ප්‍රධාන වශයෙන්ම “සරිගම” ට එවැනි ඉරණමක් අත් වුණේ. චිත්‍රපටය ප්‍රදර්ශනයට තෝරාගත් මණ්ඩලයත් අසාර්ථකත්වයට බලපෑවා. උදාහරණයක් විදිහට කීවොත් මුළු මධ්‍යම පළාතේම ඒ මණ්ඩලයට සිනමාහලක් තිබුණේ නැහැ මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න.

සරිගම චිත්‍රපටයෙන් අත් කරගන්නට බැරි වුණු ආර්ථික ජයග්‍රහණ මේ වගේ චිත්‍රපටයකින් අත්කරගන්න හැකි වේවි කියලා හිතෙනවාද ?
කොහෙත්ම නෑ. මේ චිත්‍රපටයෙන් මට ආර්ථික වශයෙන් පාඩු වේවි කියලයි මට හිතෙන්නේ. මොකද මීට පෙර මගේ සිනමා නිර්මාණ වටා එක් රොක්වී සිටි විශාල ප්‍රේක්ෂක පිරිසක් මට මේ චිත්‍රපටයේ දි අහිමි වේවි. මෙය පවුලේ චිත්‍රපටයක් නොවීම හේතුවෙන් මට සිදුවන ආර්ථිකමය අවාසිය දැන දැනම තමයි මම මේ චිත්‍රපටයට අත ගැහුවේ.

කතා තේමාවට උචිත නමක් චිත්‍රපටයට යෙදුවාට චිත්‍රපටය ප්‍රේක්ෂකයන් ඉදිරියට රැගෙන යද්දි ප්‍රේක්ෂකයන්ගෙන් නරක ප්‍රතිචාරත් ලැබේවි කියලා හිතෙන්නේ නැද්ද?
දැනටමත් මට ඒ විදිහේ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදු වෙලයි තියෙන්නේ. මේ චිත්‍රපටයේ සිංහල නම තමයි ර්‍ණජංගි හොරාග” හැබැයි ඒ නමට මේ වෙනකොට බොහෝ දෙනකුගේ විරෝධයක් තියෙනවාග “ජංගි හොරා” කියලා නම දාන්න එපා කියලයි මා සමග කතා බහ කරන හුඟක් අය කියන්නේ. මේ නිසා මමත් මේ නම ගැන දෙගිඩියාවකින් තවමත් ඉන්නේ.

සිංහල නම කොහොම වෙතත් ඔය විරෝධතාවය නිසා චිත්‍රපටය ප්‍රදර්ශනය කරන කාලය වනවිට ඉංග්‍රීසි නමත් චිත්‍රපටයෙන් හැලේවිද?
එහෙම නම් වෙන එකක් නැහැ. මම කැමතියි “අන්ඩර් පෑන්ට්ස් තීෆ්” කියන නමට. කොහොමත් ඒ නමින් තමයි මම චිත්‍රපටය ලියාපදිංචි කරලා තියෙන්නෙත්. අනික මම සිංහල නම කිව්වත් නැතත් ප්‍රේක්ෂකයෝ මේ චිත්‍රපටයට “ජංගි හොරා” කියලා කියන බවට නම් සැකයක් නැහැ.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here