නීතියේ පාලනය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් නිර්මාණය කරන තවත් සිදුවීමක් පසුගිය දෙවැනිදා වාර්තා වූයේ නීතියේ දෙවොල යැයි පැවසෙන අධිකරණ පරිශ්‍රයක් තුළදී ය. ඒ අධිකරණ සේවා කොමිසම මඟින් වැඩ තහනමට ලක් කර තිබෙන තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයාට ඇප ලබාදීමට ගරු අධිකරණය තීරණය කිරීමත් සමඟ ය. තිළිණ ගමගේට එල්ල වී තිබෙන චෝදනාව රටම දනී. නීති විරෝධී ආකාරයෙන් අලි පැටවකු ළඟ තබා ගැනීමේ චෝදනාව ‍ඔහුට එල්ල වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දිගින් දිගටම කට්ටි පනිමින් සිටි තිළිණ ගමගේ අත්අඩංගුවට ගන්නා ලෙස කණිෂ්ක විජේරත්න මහේස්ත්‍රාත්වරයා වරෙන්තුවක් නිකුත් කර තිබියදී ඔහුගේ නිල මැදිරියට පැමිණ තිළිණ ඇප ලබාගැනීම රටේ අධිකරණ ක්ෂේත්‍රය සසල කළ කාරණයක් විය. තිළිණ හා කණිෂ්ක අඹ යහළුවන් වන පසුබිමක විජේරත්න මහේස්ත්‍රාත්වරයා එම නඩුව විභාග කිරීමට ලබැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය කළ අතර සැබැවින් ම සිදු කළ යුතුව තිබුණේ ඔහු එම නඩුව ඇසීමෙන් ඉවත් වීම ය. නමුත් ඒ වෙනුවට තම මිතුරාව බේරා ගැනීමට කණිෂ්ක විජේරත්න විනිසුරුවරයා කටයුතු කළේය. දෙවැනිදා සිදුවූ තිළිණ ගමගේට ඇප ලබාදීම පැහැදිලි ප්‍රශ්න රැසක් මතු කරයි‍. නඩු විභාගය රාත්‍රි 7 ක් පැවැත්වීම, විනිසුරුවරයා භාවිතා කරන සෝපානය භාවිතා කර චූදිතයෙක් ලෙස සැඟව සිටි වරෙන්තු නිකුත් කර තිබූ තිළිණ ගමගේ අධිකරණයට පැමිණීම පැහැදිලි ලෙසම බරපතළ ප්‍රශ්න රැසක් නිර්මාණය කරනු ලබයි. අනික් අතට ඔහු තමන්ට පැනවූ ඇප කොන්දේසි සම්පූර්ණ කර ඇත්තේ ද ඊට පසු දින ය. නීතියේ ඉදිරියේ සියලු දෙනා සමාන යැයි පවසන නමුත් මෙම කාරණයේදී පැහැදිලි ලෙසම එම මූල ධර්මය බිඳ වැටී තිබේ.

තිළිණ ගමගේගේ අලි පැටියා පිළිබඳව කතන්දරය අපට පෙන්වා දෙනුයේ මේ සමාජ ක්‍රමය දූෂ්‍ය වී ඇති තරමේ පරිමාවය. මීට වසර 6කට ඉහත දී සුප්‍රකට අලි ජාවාරම්කරුවකු වන නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් විසින් හබරණ කැලේදී අල්ලා ගත් මේ අලි පැටවාව මහේස්ත්‍රාත් තිළිණ ගමගේට ලබා දී ඇත්තේ සංතෝසමක් ලෙසටය. ඒ ඊට පෙර නිරාජ් රොෂාන් භාරයේ තිබී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අල්ලා ගත් සංජු නම් අලි පැටවාව බේරා ගැනීමට ගමගේ කළ උපකාරවලට හිලව්වක් වශයෙනි. අලි පැටවා වෙනුවෙන් නීති විරෝධි බලපත්‍ර සැකසීමේ කාර්යය ඇරැඹුවේ ඉන් අනතුරුවය. චන්ද්‍රසේන යටවර නම් පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 30කට අලි පැටවා මිලදී ගත් බව කියමින් බලධාරීන්ට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය ව්‍යාජ කරුණු රැසකින් ගහන බව මේ වනවිට සහසුද්දෙන් හෙළිව ඇත. අපරාධ පරීක්ෂකයන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඕවිටිගම කොට්ඨාසයේ ග්‍රාමසේවක නිලධාරිවරයා පැහැදිලිවම සඳහන් කර ඇත්තේ එම අයදුම්පතෙහි සඳහන් ලිපිනයෙන් ඇතින්නක් නොසිටි බවත් එම ස්ථානයේ අලි පැටවකු බිහි නොවූ බවත්ය. මෙම චන්ද්‍රසේන යටවර යනු නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන්ගේ මවු පාර්ශ්වයේ ඥාතිවරයෙකි.

එම යටවර නම් පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති කට උත්තරයේදී පැහැදිලිව සඳහන් කර ඇත්තේ තමන් භාරයේ කිසිදු අලි පැටියකු නොසිටි බවය. ඒ අනුව අලි පැටියා විකිණීමේ කතාන්දරය යනු සම්පූර්ණයෙන්ම ගොතන ලද ව්‍යාජයකි.

අනිත් අතට අලි පැටියකු නඩත්තු කිරීම ද පහසුවෙන් කළ නොහැක්කකි. අලියකු නඩත්තු කිරීම වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂයක් පමණ වැය වන අතර ඊට අමතරව ඇත්ගොව්වා සඳහා ද මසකට අවම තරමේ රුපියල් 25000 ක පමණ වැටුපක් ගෙවිය යුතුය.

සාමාන්‍යයෙන් රුපියල් 125000 ක පමණ වැටුප් ලබන තිළිණ ගමගේ වැණි අධිකරණ නිලධාරියකුට ඒ අනුව අලියකු නඩත්තු කිරීමට තම සම්පූර්ණ වැටුපම යෙදවීමට සිදු‍වෙයි. මෙම වංචාව සිදුවූයේ තිළිණ ගමගේගේ අනුමැතියකින් තොරව නම් මහරගම පොලිස් ස්ථානයෙන් යටවරගේ පැටිකිරිය පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ පහසු ඉඩකඩක් මහේස්ත්‍රාත්වරයකු ලෙස තිළිණ ගමගේට තිබු මුත් ඔහු එය ද සිදුකර නොමැත. පැහැදිලිවම මෙහිදී ඔහුගේ හැසිරිම අධිකරණ නිලධාරියකුට තරම් නොවේ. අපගේ විග්‍රහයට අනුව වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 22A(7), 22A(12), 22A(13) 23 – 1 වගන්ති යටතේ හා 1982 අංක 12 දරන පොදු දේපළ පනත යටතේ තිළිණ ගමගේට නඩු පැවරිය යුතු අතර එය රිමාන්ඩ් කළ යුතු වරදකි. ඒ සම්බන්ධව ඇප ලබාදිය හැකි මුත් ඒ විශේෂ තත්ත්ව යටතේ පමණි. අනිත් අතට දණ්ඩ නීති සංග්‍රහයේ 452, 453, 454 වගන්තිය යටතේ කූඨ ලේඛන සැකසීම සම්බන්ධයෙන් ඔහුට හා ඒ ක්‍රියාවලියට සම්බන්ධ වූ චන්ද්‍රරත්න යටවර, උපාලි පත්මසිරි, ප්‍රියංකා සංජීවනි, උදේනි වික්‍රමසිංහ හා එච්. ඩී. රත්නායක යන අයට එරෙහිව නඩු පැවරිය හැකිය. කූඨ ලේඛන සැකසීම දඬුවම් ලැබිය යුතු වරදක් වන අතර ඒවා සැකසු හා එම ලේඛන සත්‍ය ලෙස භාවිත කරන පුද්ගලයකු වසර 7ක් දක්වා බන්ධනාගාර ගත කිරිමට හා දඩයකට යටත් කළ හැකි තත්ත්වයකි. ආයතනික සංග්‍රහයේ XLVIII (කාණ්ඩ II) අනුව ව්‍යාජ ලිපි ලේඛන සැකසීමට හවුල් වෙමින් හා ඊට දිරි දෙමින් තිළිණ ගමගේ කටයුතු කර ඇත.

එබැවින් පමා වී හෝ තිළිණට එරෙහිව යුක්තිය ඉටුවීම අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය අපේක්ෂා කරන හුදු මහත් ජනතාවගේ බලාපොරොත්තුවය. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here