තම රට වෙනුවෙන් පූර්ණකාලීන වශයෙන් ක්‍රීඩා කිරීමට වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණෙන් ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මිචෙල් මාෂ් තීරණය කර තිබේ.

පසුගිය වසරේ අයි.පී.එල්. තරගාවලියේදී රයිසින් පූනේ කණ්ඩායම විසින් ඩොලර් මිලියනයකට (රුපියල් පහළොස් කෝටි විසි ලක්‍ෂයකට ආසන්න) මිචෙල් මාෂ්ගේ සේවය ලබා ගෙන තිබූ අතර, එය පසුගිය වසරේදී ක්‍රීඩකයකුට ගෙවූ ඉහළ මුදලක් බවටද වාර්තා විය. එහෙත් මුදලට වඩා තමන්ගේ උපරිම සේවය රට වෙනුවෙන් ලබා දීමේ අරමුණින් මෙම තීරණයට එළැඹි බව මාෂ් පවසා තිබේ.

“ඉදිරියේදී අපට එංගලන්තය සමඟ එංගලන්තයේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් තියෙනවා. ඒ වගේම ලෝක කුසලාන තරගාවලියත් මගේ ප්‍රධානතම ඉලක්කයන්.

කොහොම වුණත් ටෙස්ට් තරගවලදී මගේ රට වෙනුවෙන් උපරිම දෙයක් කිරීම තමයි මගේ අරමුණ. මේ සඳහා අයි.පී.එල්. කැප කිරීම මට එතරම් දෙයක් නොවෙයි” යනුවෙන්ද මාෂ් පවසා ඇත. කෙසේ වුවත් මේ දිනවල එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේ පළමු ඉනිමේදී ඔහු ලකුණු 181ක් ලබා තිබූ අතර, පසුගිය අයි.පී.එල්. තරගාවලියේදී ඔහුට දක්‍ෂතා දැක්වීමට නොහැකි වී තිබිණි.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here