රාත්‍රී කාලයේ දී කටුවන කොටුවේ ඇසෙන පරදේසක් කරුවන්ගේ අත්භූත විලාප හඩ

“ඔය කටුවන කොටුව හදන්න ගස් කපලා තියෙන්නේ අපේ සිංහල මිනිස්සු ලව්වා. ඒ අය ගස් කපන්න කැමැති නෑ.”

හැමිල්ටන් අබේසුන්දර වීරසිංහ වලව්වේ මහතා එවැනි කතාවක් මෙසේ හෙළි කළේය.

අපේ සංස්කෘතියට අනුවත් බුදු දහමට අනුවත් ගස් වැවීම කැලෑ රැකගැනීම වැනි දෑ පින් පිරෙන කටයුතුය. ගස්වල අරක්ගත් දෙවි දේවතාවුන් සිටින බව පැරැණියන් තදින් විශ්වාස කළ නිසා ඔවුන් ගස් කැපීමට පෙර දෙවියන්ගෙන් ඒ විමාන අතහැර යන ලෙස ඉල්ලා බොහෝ පුද සත්කාර කළ බව පතපොතේ පවා සඳහන් වේ. රුවන්මැලි සෑය ඉදි කිරීමට පෙර එහි තිබූ ගසක් ඉවත් කිරීමට අවශ්‍ය වූ වේලාවේ එම ගසේ වැඩ සිටි වෘක්ෂ දේවතාවියට ඇගේ නමින් සෑය නම් කරන බවට පොරෙන්දුවක් දුන් පසු පමණක් ඒ විමානයෙන් ඉවත් වූ බව මහාවංශය පවා සඳහන් කරයි. ‘ඔබේ නමින් සෑය බඳිමි -විමානයෙන් බසිනු මැනවි’ මැයෙන් පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන ගීතයේද අදහස වන්නේ එයයි.

එහෙත් කටුවන තිබූ විශාල වෘක්ෂයන් කපා දැමීමේදී එවැනි යාතිකා කිසිවක් කිරීමට ලන්දේසිකාරයන් දැන සිටියේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ පරිසරයට, දේව විමානවලට කුමක් වුවත් තමන්ගේ අභිමතය ඉටු කරගැනීම පමණි. එහෙත් එදා සිට ගස්ගල්වලට පවා පණ ඇති බව විශ්වාස කළ ගැමියන් මේ ශාපය ලැබීමට කැමැති වූයේ නැත. ඒ නිසා වරක් හොඳ උපායක් යෙදීමට ගස් කපන රාජකාරිය බාර වූ ගැමියන් පිරිසක් සිතුවේය. වීරසිංහ වලව්වෙ මහතාගේ කතාවේ ඉතිරිය සිදු වන්නේ ඒ නිසා විය යුතුය. එසේත් නැත හොත් ලන්දේසීන්ට තිබූ විරෝධය පෑමේ අහිංසක ක්‍රමයක්ද විය හැකිය.

“ඉතින් ලන්දේසීන් ගස් කපන්න කීවාම මිනිස්සු දෙන්නෙක් ආවාලු කදක් බැඳගෙන. කදේ එක පැත්තක අන්නාසි ගෙඩි පුරවලාලු. අනෙක් පැත්තේ හොඳට ගැටගහපු මල්ලක්ලු. සොල්දාදුවන් දැක්ක ගමන් බයට වගේ කද බිම තියලා මිනිස්සු දෙන්නා කැලේට පැනලා. හොර බඩු වෙන්න ඇති කියලා හිතලා බැලුවාම අන්නාසි. පස්සේ ලන්දේසිකාරයන් කද උස්සාගෙන කණ්ඩායම ඉන්න තැනට ගිහින් අන්නාසිත් කාලා මල්ල ලෙහන්න හදලා. අත දැම්මා විතරයි කණ්ඩායමම කෑගහගෙන දිව්වලු. බලද්දි දෙබර වදයක් තමයි අර හොඳට ගැට ගහලා තිබිලා තියෙන්නේ!”

මඩුවන්වෙලින් පිට වූ සටන්කරුවන් කටුවනට යෑමට පෙර ඊට ගව්වතකට දෙකකට මෙපිටින් පිහිටි වීරසිංහ වලව්වේ මොහොතක් එක් වීමටද අමතක කළේ නැත. ඒ නිසා රජුගේ තුටුපඬුරු මේ වීරසිංහ වලව්වටද හිමි විය. කටුවන සටනින් පසු කොටුවෙන් ගෙනා ජනෙල් උළුවස්සක කොටසක් මේ වලව්වේ සවි කර තිබීම විශේෂත්වයකි. එපමණක් නොව, පසුකාලීනව ලෙනාඩ් වුල්ෆ් මේ පෙදෙසේ සංචාරය කරන විට නතර වී ඇති මධ්‍යස්ථානයක් වට පත් වූයේද මේ වලව්වයි. ඔහු භාවිත කළ සබන් පෙට්ටියක්, වියන් ඇඳ වැනි ඇතැම් සිහිවටන සුරැකිව තබාගැනීමට ඒ පරපුර කටයුතු යොදා තිබේ.

වීරසිංහ වලව්වේ මහතා පවසන පරිදි ලෙනාඩ් වුල්ෆ් නිල සංචාරයක යෙදුණු මොහොතක ඒ පළාතේ සිටි ගම්මුලාදෑනියකු තම වැයික්කියට අයත් ලොකුම වස්තුවක් වූ විශාල කොටියා මරා පිරිනමා ඇත. ඒ මුලාදෑනියාගේ තෑග්ග වෙනුවට වැඩ තහනම් කිරීමට ලෙනාඩ් වුල්ෆ් වහා කටයුතු කර තිබේ.
“එක වතාවක් වුල්ෆ් නඩු අහද්දි එතන හිටි කෙනෙක් හිනා වුණාලු. ලෙනාඩ් වුල්ෆ් ඇහුවාලු ‘වයි ආ යූ ලාෆිං ලයික් අ ලයන්?’ ඒ කියන්නේ ‘ඇයි සිංහයෙක් වගේ හිනා වෙන්නේ?’ කියලා. ඒ පාර ඒ පුද්ගලයා කිවාලු ‘බිකෝස් වුල්ෆ් ඉස් ඔන් ද බෙන්ච්’ කියලා! ඒ කියන්නේ: ‘වෘකයා නඩුකාර ආසනේ ඉන්න හින්දා’ කීවාලු. එතනින්ම කතාව ඉවර වෙලා…”

මෙවන් රස කතා දන්නා දැනට ජීවතුන් අතර සිටින වැඩිහිටි පරම්පරාවෙන් පසු පරපුර සිය මුතුන් මිත්තන් රට බේරාගැනීමට කළ සේවය ඉදිරියට ගෙන යෑම කෙසේ වෙතත් ඒ පිළිබඳ අනාගතයට කියා දීමටවත් මවු රටේ නොසිටීම කණගාටුවට කරුණකි. එයින් සිදු වන්නේ අපේ ඉතිහාසයේ තවත් පරිච්ඡේදයක් නිහඬවම කාලයේ වැලි තලාවෙන් වැසී යෑම පමණි.

වීරසිංහ වලව්වේදී හමු වුණු එම් ප්‍රියන්ත මහතා කටුවන කොටුවේ විස්තර සොයා ගිය අපට මහත් සහයෝගයක් දුන්නේ එහි ළිඳ පිළිබඳවද විස්තරයක් කරමිනි…
“කටුවන කොටුවේ දොරටුවෙන් ඇතුළු වුණ ගමන් වම් පැත්තේ තියෙන්නේ ළිඳ. ළිඳ කීවට සමහරු ඒකට උමඟ කියලත් කියනවා. එතනින් ගිහින් මඩුවන්වෙලින් මතු වෙනවා කියලත් කතාවක් තියෙනවා. තවත් අය කියනවා ඌරු බොක්ක දිය පාරෙන් මතු වෙනවා කියලා. ඒත් කවුරුවත් හරියට දන්නේ නෑ ඇත්තටම කොහෙටද යන්නේ කියලා. හැබැයි දාන ඕන දෙයක් ගිලගන්නවා. සමහරු දැකලා තියෙනවා ඒ උමඟෙන් නාගයෙක් මතු වෙනවා…”

ඔහුගේ කතාව සනාථ වන්නේ පුරාවිද්‍යාඥ සුමිත් රණසිංහ මහතාගේ ‘රම්මල් පුවත’ පොතේ විදේශිකයන් කටුවන පිළිබඳ කළ සටහනකිනි…
‘1908 ඔක්තෝබර් 29 දින කටුවන කොටුව නැරඹූ හම්බන්තොට හිටපු උපදිසාපතිවරයකු වූ ලෙනාඩ් වුල්ෆ්ගේ වාර්තාවේ සඳහන් පරිදි කොටුව හාත්පස සහ කොටුව තුළ විද්‍යමාන ළිඳ තුළ පුරාවස්තු ඇතැයි යන හැඟීමෙන් ඔහු කැණීමක් කළේය. එමඟින් කිසිදු පුරාවස්තුවක් නොලැබුණු බව සඳහන් කරන හෙතෙම රැගෙන ගිය මුදල් අනවශ්‍ය ලෙස වැය වූ බව සඳහන් කර ඇත.’
හිටපු විදුහල්පති පීඑල්ඒ රණසිංහ මහතා අප සමඟ පැවසුවේ, “ළිඳ කීවට ඒකෙන් ඌරුබොකු ඔයට උමඟක් තිබුණලු. සමහරු කියනවා තිරුවාණාගොඩ මාලිගාවේ නටබුන් මේ උමඟේ තිබුණා කියලා. කුඹුක් ගස් යායට වවලා තිබුණේ ඒ මුල්වල ආධාරයෙන් ඔයෙන් ගොඩ වෙන්නලු.”

එයට අලගු තබමින් කුඩාකතරගම දේවාලයේ බස්නායක නිලමේ උදය ඇමතියගොඩ මහතා පැවසුවේ, “සටන්කරුවන් එක එක ආකාරයට කොටුවට ඇතුළු වුණු බවට කතා තිබෙනවා. සමහරු කියන්නේ ළිඳ අස්සෙන් මතු වෙන්න නෙළුම් අලවලින් හුස්ම බට හදාගෙන හිටියා කියලා. තවත් අය කියනවා තොවිලෙට අවශ්‍ය කෙහෙල් බඩ අස්සෙ ආයුධ ගෙනාවා කියලා. සටනකදි ඒ හැම ක්‍රමයක්ම භාවිත කරන නිසා එක එක කණ්ඩායම් ඒ ඒ උපක්‍රම භාවිත කළා වෙන්න පුළුවන්.”
පුරාවිද්‍යා කැණීම්වලදී නම් දෙපාර්තමේන්තුවට ලැබී ඇත්තේ ඕලන්ද පෝසිලේන් පිඟන් කැබැලි, කාල රක්ත මැටි බඳුන් සහ දුම්පානයට ගන්නා දුම් පයිප්පයක කොටසක් ආදිය පමණි. කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් විසින් රචිත ‘කටුවන මාතර හටන’ පොතේ රෙයිමර්ස් නම් පුද්ගලයාගේ සටහන්වලට අනුව 1925 වන විට කටුවන බලකොටුව තිබූ ස්ථානය ඝන කැලෑවෙන් වැසී තිබුණු අතර, රූස්ස ගස් වැඩී තිබී ඇත.

ව්‍යාපාරික එම් ප්‍රියන්ත මහතා කියන පරිදිත් විශ්‍රාමික විදුහල්පති රණසිංහ මහතා පවසන පරිදිත් රෝහල මෙහි පැවතුණු සමයේ බොහෝ ජනාකීර්ණ භූමියක් ලෙස කටුවන කොටුවේ පරිශ්‍රය භාවිත වී තිබිණි. එහෙත් ඊට පෙර කොටුව ඇතුළේ වැවී තිබූණු මාරගස් නිසා කළුවරත් භීතියත් පැතිරුණු බැවින් කිසිවකු ඒ දෙස බලන්නේ වත් නැත.

ආචාර්ය අකිල විජය රාජපක්ෂ මහතා එසේ නොබලා යන්නට හේතුව පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි: “අපේ සීයලා ආච්චිලා කියලා තියෙනවා කටුවන කොටුවේ සටනින් පස්සේ සමහරුන් ඒ ලන්දේසි භටයන් වගේ ඇඳගත් අය රෑට කොටුව ළඟ පෙනුණා කියලා. මොරගහගොඩ කියන ප්‍රදේශයේ හිස ගසා දමද්දී මොරදුන් හඬ අදටත් සමහර අයට ඇහෙනවා කියලා කියනවා.
අවරුදු 104ක් වන මවුලිස් සීයා මේ ගැන හොඳට දන්නවා.මහ රූස්ස ගස් තියෙද්දි සෙවණැලි මතු වෙන්න පුළුවන්. ඒවා තමන් දන්න කරුණු එක්ක ගැළපිලා මනසේ මැවෙන්නත් ඉඩ තිබෙනවා.

ඒ වගේම අප නොදන්න දේවල් මේ ලොකේ ඕන තරම් තිබෙනවා. ඒවා ඇත්තද නැත්තද කියලා සාමාන්‍ය විද්‍යාත්මක පරීක්ෂණ නිරීක්ෂණ නිගමනවලින් කියන්න තරම් අපේ දැනුම දියුණුද කියන-එකයි මෙතන තිබෙන ප්‍රශ්නය.
සමහරු මේ දේවල් එකහෙළා ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කරනවා. ඒත් කාලාන්තරයක් තිස්සේ මේ දේවල් ලෝකේ රටවල්වල කතා කෙරෙන්නේ ඇයි කියන දේ ඔවුන් සිතන්නේ නෑ. මාලිගා තැන්න වලව්ව කියන්නේ මගේ සීයාට නින්දගමක් ලෙස ලැබුණු විමලධර්මසූරිය රජු විසූ වලව්ව. පරදේසක්කාරයන් හිර කරලා මදුවැල් කිරිවැල්වලින් බැඳලා තියලා අවශ්‍ය ප්‍රභූවරුන්ට පෙන්වූ පසු දින දෙක තුනකින් පසු මරලා දැම්ම බව ඒ අය කියා තිබුණා. අදටත් කඳුවළල්ලෙන් දෝංකාර දෙන එක එක මරළතෝනි සද්ද ඇහෙනවා… බැලුවාම කවුරුත් නෑ. පික්සල් 20 වැඩි කිරිලියන් සහ ඕරාකෑම් කැමරාවලින් මේ ප්‍රදේශ නිරීක්ෂණය කළොත් අපි දුටු දේවල් තව අයට ඕන නම් දකින්න පුළුවන්.”

ඡායාරූප – සුදත් නිශාන්ත
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here