සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 3-2ක් ලෙස පරාජයට පත්වීමට සත්කාරක ශ්‍රී ලංකා පිලට සිදුවිය.

කෙසේ වුවද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් එක්දින තරග දෙකේදී දැක්වූ දක්ෂා කැපී පෙනුණි. එහි පළමු තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් අත්කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි තරගයේදී ලකුණු 178ක දැවැන්ත ජයක් වාර්තා කළහ.

එමෙන්ම පසුගිය වසරවල පැවැති තරගාවලිවලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ආබාධයන්ට ගොදුරු වූ අතර මෙවර තරගාවලියේදී එවැනි තත්ත්වයක් දක්නට නොලැබිණි. ලහිරු කුමාර පමණක් ආබාධයකට ලක්වූ අතර ඔහුට අහිමිවූයේ එක් තරගයක් පමණි.

දකුණු අප්‍රිකාව දණ නමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හමුවේ දකුණු අප්‍රිකාව ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කීමට පෙරේදා අවසන් වූ පස්වැනි තරගයේදී සංචාරකයන්ට සිදුවිය.

මින් පෙර 2013 වසරේදී ශ්‍රී ලංකා පිල හමුවේ දකුණු අප්‍රිකාව ලකුණු 140කට දැවී ගොස් තිබිණි. එම තරගයේදී දකුණු අප්‍රිකාවට ලකුණු 180ක පරාජයක් අත්වූ අතර මේ තරගයේ පරාජය දෙවැනි ඉනිමේ පන්දුවට පහරදෙමින් ශ්‍රී ලංකා පිල හමුවේ ලබාගත් දෙවැනි විශාලතම පරාජය විය. එම තරගයද ආර්.ප්‍රේමදාස පිටියේදීම පැවැත්විණි.

තරග 5 එක්දින තරගාවලි

ශ්‍රී ලංකා පිල මින් පෙර තරග 5කින් සමන්විත එක්දින තරගාවලියක් 3-2කින් නිමකර තිබුණේ 2012 වසරේදීය. ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාවේ සංචාරය කළ එම තරගාවලියේදීද අවසන් තරග 2 ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව මින් පෙර එක්වූ එක්දින තරගාවලියේදී (2017) ශ්‍රී ලංකාවට 5-0ක පරාජයක් අත්වූ අතර දකුණු අප්‍රිකාව 2013 වසරේදී මෙරට පැවැති සංචාරයේදී තරග 4-1කින් පරාජයට පත්විය.

මැතිව්ස් තරග 200 පනී

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මේ තරගාවලිය වැදගත් වූයේ ඔහු එක්දින ජාත්‍යන්තර තරග 200 සීමාව පසු කිරීමය. මේ අවසන් තරග ඔහුගේ 201 වැනි තරගය විය. මැතිව්ස් මේ වනවිට ශතක 2ක් සහ අර්ධ ශතක 37ක් සමගින් ලකුණු 5342ක් ලබාසිටී.

කුසල් ජනිත් ලකුණු 2000යි

2013 වසරේ එක්දින ජාත්‍යන්තර වරම් ලබාගත් 27 හැවිරිදි කුසල් ජනිත් තරග 78කට එක්වෙමින් ඉනිම 75කදී ලකුණු 2000 පසු කිරීමට සමත් විය. ඊට ශතක 3ක් සහ අර්ධ ශතක 11ක් ඇතුළත්ය.

තිසර කඩුලු 156යි

මේ තරගාවලියේ දඹුල්ලේ පැවැති දෙවැනි දිවා රාත්‍රි තරගයේදී ජේ.පී.ඩුමිනි දවා ගනිමින් එක්දින තරග දිවියේ කඩුලු 150 සම්පූර්ණ කිරීමට තිසර පෙර්රා සමත් විය. ඔහු තම 135 වැනි එක්දින තරගයේදී මේ දස්කම පෑවේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ සීමාව පසුකළ 10 වැනි පන්දු යවන්නා වූ අතර කඩුලු 156ක් දවා ගනිමින් වැඩිම කඩුලුලාභීන් අතර 7 වැනි ස්ථානයේ පසුවෙයි.

ලක්මාල් කඩුලු 100යි

මේ තරගාවලියේ එක්දින කඩුලු 100 සීමාව පසුකිරීමට ලක්මාල්ට හැකිවිය. ඔහුද දඹුල්ලේ පැවැති දෙවැනි තරගයේදී මේ දස්කම කළේ ඩෙවිඩ් මිලර් දවා ගනිමිනි. තරග 80කට ක්‍රීඩා කර ඇති ලක්මාල් කඩුලු 100ක් දවාගත් 17 වැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා වෙයි.

අකිලගේ දක්ෂතම පන්දු යැවීම

තම ජාත්‍යන්තර එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අකිල ධනංජය ලකුණු 29කට දකුණු අප්‍රිකානු පිතිකරුවන් 6 දෙනකු දවා ගැනීමට සමත් විය. තරග 24කට ක්‍රීඩා කර ඇති ඔහු මේ වනවිට දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 35කි.

ශතක එකයි

මෙවර තරගාවලියේ දී දෙපිලෙන්ම වාර්තාවූයේ එක් ශතකයක් පමණි.

තම මංගල එක්දින තරගයට එක්වූ රීසා හෙන්ඩ්‍රික්ස් මේ දස්කම කිරීමට සමත් විය. ඔහු මෙලෙස මංගල තරගයේදී ශතකයක් රැස්කළ තෙවැනි දකුණු අප්‍රිකානුවා මෙන්ම ලොව 14 වැනි පිතිකරුද විය.

දකුණු අප්‍රිකාවෙන් වාර්තා

පල්ලේකැලේ පැවැති තෙවැනි තරගයේදී ලකුණු 363ක් රැස්කළ දකුණු අප්‍රිකාව එම පිටියේදී කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව, ශ්‍රී ලංකාවේදී සත්කාරකයන්ට එරෙහිව රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යවේ වාර්තාවටද හිමිකම් කී දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාව එරෙහිව පිට පිට ලබාගත් තෙවැනි තරගාවලිය ජය ලෙසද මේ තරගාවලිය වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here