කිසිවෙකුට හානියක් නැති හැඟීමක්… පවක් නැති හැඟීමක්… අහිංසක කැමැත්තක්… ආශාවක්… ඕනකමක්… නිසා අපමණ සමාජ පීඩා මැද දෙපයින් සිටගත් ඇය කාන්තාවක්. මානව හිමිකම් ක්‍රියාකාරිනියක්… ඕනම ඇහැකින් බලන්න පුළුවන් නිවෙන දැවෙන ඇගේ ජීවිත කතාන්දරය. මේ ඇය පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක්.

ඔබ මේ ලෝකයට ආවේ ගැහැණියක් විදිහටද? පිරිමියෙක් විදිහටද?
පිරිමියෙක් විදිහට.

ඒ පිරිමියාගේ නම මොකක්ද?
කුමුදු හරේන්ද්‍රන්.

අද?
අද මම භූමි හරේන්ද්‍රන්.

කුමුදු කොහොමද භූමි වුණේ?
කුමුදු භූමි වුණේ ලිංගික වෙනස්කමක් එක්ක

කව්ද කුමුදුට භූමි කියන නම දුන්නේ?
මගේ යාළුවෝ. මම රාජ්‍ය නොවන සංවිධානයකට සම්බන්ධ වී මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වූ පසු මම භූමි වුණා.

පිරිමියෙක් විදිහට ඉපදුණ ඔබට ඇයි ගැහැණියක් වෙන්න ඕන වුණේ?
මේ ලෝකෙට එන හැම කෙනෙකුටම ශරීර දෙකක් තියෙනවා. එකක් මානසික ශරීරය. අනික ශාරීරික ශරීරය. මම පිරිමියෙක් විදිහට ඉපදුණේ මගේ ශාරීරික ශරීරයෙන් විතරයි. මගේ මානසික ශරීරයෙන් මම ඉපදුණේ ගැහැණියක් විදිහට. මම ශාරීරිකවත් ඒ ගැහැණිය හොයාගෙන ගියා. මානසික ශරීරයට ශාරීරික ශරීරය නොගැළපෙන්නේ සංක්‍රාන්තික සමාජවාදී පුද්ගලයන්ගේ. මගේ හෘද සාක්ෂියට එකඟ දේ මම කළා.

ශාරීරිකව ඔබේ පිරිමි ලිංගික අවයව ගැහැණු ලිංගික අවයව බවට පත්කරගන්න සහ ගැහැණුකම ආරෝපණය කරගන්න ඔබ කළ ප්‍රතිකාර සහ සැත්කම් මොනවද?
හෝර්මෝන ප්‍රතිකාර සහ සැත්කම්වලට අපි බඳුන් විය යුතුයි. හෝර්මෝන ප්‍රතිකාර කරද්දී ශරීරයේ වෙනස්කම් සිදුවෙනවා. රැවුල වැවෙන්නේ නෑ. පියයුරු වැඩෙනවා. සම සිනිඳු වෙනවා. ඇඟේ රෝම වැවීම අඩු වෙනවා. මේ හෝර්මෝන ප්‍රතිකාර ජීවිත කාලයම කළ යුතුයි. මොකද ඒ ගැහැණු හෝර්මෝන අපේ ශරීරයේ ස්වභාවිකව නිපදවෙන්නේ නෑ. නිෂ්පාදනය වෙන්නේ පිරිමි හෝර්මෝන. ඒ නිසා ගැහැණු ස්වභාවය හැමදාම රැකගන්න අපේ ඇඟේ නිපදවෙන පිරිමි හෝර්මෝනවලට ප්‍රතිවිරුද්ධ හෝර්මෝන අපි ගන්න ඕන. ඊට අමතරව පියයුරු සැත්කම සහ යෝනි මාර්ගය සැකසීමේ සැත්කම අපි සිදුකරගෙන ලිංගික අවයව වෙනස් කරගන්නවා.

මේ ප්‍රතිකාර සහ සැත්කම් ජීවිත අවදානමක් අරගෙන එන්නේ නැද්ද?
ඔව්. ජීවිත අවදානමත් එක්ක තමා අපි ගැහැණුකම හොයාගෙන යන්නේ. මේ වෙද්දී ඒ ප්‍රතිකාර ක්‍රම සෑහෙන දියුණු මට්ටමක තියෙනවා. ඒත් අවදානම ඕන වෙලාවක ඇතිවෙන්න පුළුවන්. හෝර්මෝන ප්‍රතිකාර වැරදුණොත් ජාන විකෘති වීම්, හෘදයාබාධ, මානසික ආබාධ, විකෘතිතා, විරූප වීම්, කොටින්ම පිස්සු හැදීම පවා වෙන්න පුළුවන්. මැරෙන්නත් පුළුවන්. ඒ අවදානම බාරගන්න ලොකු ආත්ම ශක්තියක් තියෙන්න ඕන.

මොන ආත්ම ශක්තියක් තිබුණත් ලිංගික සංක්‍රාන්තියක් වෙනුවෙන් මෙහෙම ජීවිත අවදානමක් ගන්නේ ඇයි?
මානසිකව ගැහැනුන් වූ අපිට හිතෙන දේ ශාරීරිකවත් ගැහැණියක වී හෙට මැරුණත් කමක් නෑ කියලා. හෘද සාක්ෂියට එකඟව දවසක් ජීවත්වෙලා හෙට මැරුණත් මම තෘප්තිමත්. මම මගේ හෘද සාක්ෂිය මැරුවේ නෑ. දැන් මට නිදහසේ මැරෙන්න පුළුවන්. ආත්ම තෘප්තිය තරම් වටින වෙන දෙයක් තියෙනවද?

ලිංගික අවයව සැත්කම් මඟින් වෙනස් කළ පමණින් ඔබට හිතෙනවද ඔබ සම්පූර්ණ ගැහැණියක් කියලා?
ඔව්… ශාරීරිකව වගේම මානසිකවත් මම පූර්ණ ගැහැණියක්.

යුවතියක අත්විඳින මාසික ඔසප්වීම වැනි අත්දැකීම් ඔබ විඳින්නේ නැහැ නේද?
නැහැ. ගර්භාෂය සහ ඩිම්බ කෝෂ පිහිටීමක් නැති නිසා අපිට ඔසප් චක්‍රයක් නෑ. ඒක උප්පත්තියෙන් ලැබෙන ක්‍රියාවලියක්නේ. ඒත් ඒ හැමදේම ලබාගන්න පුළුවන් දවසක් ආවොත් ඒක මොනතරම් සතුටක්ද?

ලිංගික සංසර්ගයකට පෙර ගැහැණියක තුළ ඇතිවෙන ස්වභාවික රාගික හැඟීම් ඔබ තුළත් ඇති වෙනවද?
උප්පත්ති ගැහැණුන් හා අපි අතර ශරීර අභ්‍යන්තරයේ ඇති වෙනස්කම් නිසා ඒ දේවල්වල වෙනස්කම් තිබුණත් ඒ වෙනස්කම් හොයන්න එපා. මානසිකව අපි උප්පත්තියෙන්ම ගැහැණු. ලිංගික සංක්‍රාන්තියෙන් පසු අපි පිරිමින්ට විඳින්න පුළුවන් ගැහැණු.

පිරිමියෙක් හා ලිංගික සංසර්ගයකදී ගැහැණියකගේ උපරිම තෘප්තියේදී ඇය ලබන සුරාන්තය ඔබට පිරිමියෙකු හා ලිංගික හැසිරීමකදී ලබන්න පුළුවන්ද?
මම විශ්වාස කරන්නේ අපේ ලොකුම ලිංගික අවයවය වෙන්නේ මොළය. ලිංගික තෘප්තිය අපි එකිනෙකා ලබන විඳින විදිහ සාපේක්ෂයි. මගේ ලිංගික ජීවිතය ගැන මම ප්‍රසිද්ධියේ කියන්න ඕනේ නෑ කියලා මම හිතනවා.

ඔබ වැනි ලිංගික සංක්‍රාන්තිකයන්ට මාතෘත්වය ලබන්න බෑ? දරුවන් දරන්න දරුවන් බිහිකරන්න අම්මා කෙනෙක් වෙන්න බෑ?
ඔව් අද වෙද්දී අපිට ඒ හිමිකම නෑ. ඒත් මේ වෙද්දී අපිට දරුවන් ලබාදිය හැකි ක්‍රමවේද ගැන පරීක්ෂණ සිදු කරනවා. ඒවා සාර්ථක වුණොත් අපිට තව අවුරුදු පහකින් විතර ඒ හීනය ඇත්තක් කරගන්න පුළුවන්.

භූමි කැමතිද අම්මා කෙනෙක් වෙන්න?
මම හුඟක් ආසයි අම්මා කෙනෙක් වෙන්න. මම ඒක ගැන හුඟක් බලාපොරොත්තු තියාගෙන ඉන්න ඒ ගැන හීන දකින කෙනෙක්.

ඒ කියන්නේ භූමි කැමතියි විවාහයකට?
විවාහයකට මගේ කැමැත්තක් නෑ. අම්මා කෙනෙක් වෙන්න විවාහ වෙන්නම ඕනද? විවාහ වුණත් නැතත් මම කැමතියි අම්මා කෙනෙක් වෙන්න. අද කාලෙ සම්බන්ධතා හරි සංකීර්ණයි. ආදරය හෑල්ලුවෙලා. ආදරය නිසා බැඳීම් නිසා හුඟක් අය විඳවනවා. හුඟක් අයට විවාහය තුළ ආදරයක් සැනසිල්ලක් ලිංගික තෘප්තියක් නෑ. ඒක නිකම් ලියවිල්ලක් විතරයි. ඒ නිසා මට සැමියෙක් ඉන්න ඕන කියලා මම හිතන්නේ නෑ. ඒත් මම තව වතාවක් කියන්නේ අම්මා කෙනෙක් වෙන්න මම හුඟක් කැමතියි.

ලිංගික සංක්‍රාන්තිකයන්ට නීතියෙන් විවාහයට බාධාවක් නෑ නේද?
අපිට නීතියෙන් විවාහ වෙන්න පුළුවන්. සමලිංගිකයන්ට ඒ අයිතිය නැති වුණාට අපට ඒ අයිතිය තියෙනවා. මේ සමාජය සමලිංගිකයන් හංවඩු ගහන්නේ බරපතළ සමාජ අපරාධකාරයන් විදිහට. ඒ නිසාම විවාහයක අයිතිය ඉල්ලන්න පෙර ඔවුන්ට මිනිසුන් ලෙස දිනාගත යුතු අයිතීන් හුඟක් තියෙනවා.

ඔබත් සමලිංගිකයන් සමාජ අපරාධකරුවන් ලෙස හංවඩු ගහනවද?
කවදාවත් නෑ. අපි හැමෝම මිනිස්සු. විකෘතිය කියන්නේ ප්‍රකෘතියට සාපේක්ෂ දෙයක් මිස සැබෑ අර්ථයෙන් විකෘතියක් කියලා දෙයක් නෑ. අපි ආදරය හා ලිංගිකත්වය වෙනස් වෙනස් ආකාරවලට විඳිනවා. ඒක වරදක් නෙවෙයි. ඒ විවිධත්වයට ඇයි අපිට ගරු කරන්න බැරි.

සමලිංගික විවාහය ඔබ අනුමත කරනවද?
ගැහැණියක් වේවා, ගැහැණුන් දෙදෙනෙක් වේවා, පිරිමින් දෙදෙනෙක් වේවා එක වහලක් යට sex and love කියන හැඟීම් බෙදාගෙන ආදරෙන් ජීවත් වෙන්න පුළුවන්නම් ඒක එච්චරයි. මම බැඳීම් විදිහට දකින්නේ ඒක.

භූමිගේ දැන් වයස කීයද?
අවුරැදු 27ක්.

භූමිට කවදාවත් ගෑනු ළමයෙක් ගැන ආදරයක් ආකර්ෂණයක් ඇතිවෙලා නැද්ද?
කවදාවත් නෑ…. මගේ ලෝකේ කවදාවත් මම ආදරේ කරන කෙල්ලක් ඉඳලා නෑ.

භූමි කොල්ලෙක් විදිහට ඉන්න කාලෙ භූමිට කෙල්ලන්ගේ ආකර්ෂණයක් තිබුණෙ නැද්ද?
මම කොල්ලෙක් විදිහට ඉද්දිත් කෙල්ලකගේ මනසිකත්වයේනේ හිටියේ. ඉතින් කොහොමද මට කෙල්ලක් ආකර්ෂණය වෙන්නේ. අනිත් එක මම ඒ කාලේ උසයි හුඟක් කෙට්ටුයි. කළුම කළුයි හරි කැතයි. කොහොමත් මට කවදාවත් කෙල්ලක් දිහා නිකමටවත් බලන්න හිතිලා නෑ.

භූමිගේ හිතේ මුලින්ම ආදරයක් ඇතිවුණේ කා ගැනද? ඒ වයස කීයේදීද?
හතර වසරේ ඉද්දී…. මට එතකොට අවුරුදු දහයක් ඇති.

ඒක ප්‍රකාශිත ආදරයක්ද?
හතර වසරේ ඉඳන් සාමාන්‍ය පෙළ පන්තියට එනකම් මම ඒ ළමයට හිතින් ආදරේ කළා. ඒක මගේ හිතට තදින්ම දැනුණු ආදරයක්…, ඒ ළමයා විතරක් නෙවෙයි මුළු පන්තියම දන්නවා මම ඒ ළමයට ලව් කියලා. ඒක තමා ළමයින්ට ඒ දවස්වල තිබුණ ලොකුම බයිට් එකත්. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුණෙත් ඒ ළමයම තමා.

ඇයි එහෙම කියන්නේ?
මම ඕ ලෙවල් පන්තියේ ඉද්දී ඒ ළමයා දවසක් මාව පන්තියේ ඉස්සරහට ඇදගෙන ආවා. ඇදන් ඇවිත් හරිම කැත විදිහට මගෙන් ප්‍රශ්න කළා. ගෑණියක් විදිහට උඹට මොනවද තියෙන්නේ. උඹ කළුයි. කැතයි. උඹේ මොනවද ගන්න දෙයක් තියෙන්නේ? මොකක්ද උඹට මට දෙන්න පුළුවන් ආතල් එක කියලා ඇහුවා. එදා මගේ හිත හුඟක් රිදුණා. මම එදා හිතුවා මම ලිංගික සංක්‍රාන්තිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කවදා හෝ පෙනී ඉන්නවා කතා කරනවා කියලා.

ඔබ ඉපදුණේ කොහේද?
බොරැල්ල කාසල් වීදියේ.

ගෙදරින් ආදරයක් සැලකිල්ලක් ලැබුණද?

මගේ අම්මා විදේශගත වී හිටියේ. මම හිටියේ මගේ ආච්චියි නැන්දයි ළඟ. තාත්තා එක්ක ලොකු බැඳීමක් තිබුණේ නෑ. සහෝදර සහෝදරියෝ කවුරුත් මට නෑ. ජීවිතේ ළඟින්ම හිටියේ නැන්දා. නැන්දා මට ආදරෙයි. පිස්සු වැඩ කියලා කීවා මිසක් කිසිදේකට නැන්දා මට දොස් කීවේ නෑ.

පවුලේ අයගෙන් නෑදෑයන්ගෙනුත් ඔබ වෙනස්කම්වලට ලක් වුණාද?
එදා විතරක් නෙවෙයි අදටත් ඒ වෙනස්කම මම විඳිනවා. ගැහැණියක් වෙලා ඉපදුණු නිසා මෙවැනි සමාජයක කෙනෙක් එක්වරක් හිංසනයට පත්වෙනවා නම් අපි දෙවතාවක් ඒ හිංසනය විඳිනවා.

ඉස්කෝලේ ගියේ කොහේද?
කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට.

කොල්ලෝ ගොඩක් මැද්දේ කෙල්ලකගේ මානසිකත්වයෙන් ගෙවපු ඒ කාලය කොහොමද?
පුංචි පන්තියේ ඉඳන් හැමෝම මට වෙනස්කම් කළා. මට කෙනෙහිලිකම් කළා. අපහාස කළා. කෙල්ල ගෑනි කියලා අපහාසෙන් කියද්දී මට මල පැන්නා. දුක හිතුණා. පන්තියේදී මාව කොන් වුණා. මට යාළුවෙක් හිටියේ නෑ. මට සැලකුවේ වෙනස් විදිහට. කොල්ලන්ගේ ගැන්සිවලට මාව ගත්තේ නෑ. මම ඒ සියල්ල තුළ හුඟක් හුදෙකලා වුණා.

ඔබ මානසිකව කඩාගෙන වැටුණා… කලකිරුණා… ඔබ ඒකද කියන්න හදන්නේ?
මාවත් තේරුම් ගන්න මට වෙනස් විදිහකට සලකන්න එපා කියලා මට මේ ලෝකෙටම අඬලා කෑගහලා කියන්න ඕන වුණා.

සටහන – සංජු

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here