ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට චන්ද්‍රිකාවක් නිර්මාණය කර එය කක්ෂගත කිරීමට ශ්‍රී ලාංකික දියණියක සහ පුතණුවෙක් සූදානමින් සිටිනවා.

ඒ, දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න යන දෙදෙනායි.

ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා බීබීසී සිංහල සේවය, ජපානයේ සිටින ඔවුන් දෙදෙනා සම්බන්ධ කරගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දුලානි චාමිකා විතානගේ අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නක්,

”ලෝකයේ පළමු ගුවන් යානය නිපදවූයේ රාවණා කියලා ඉතිහාසය අනුව පෙනී යනවා. ඒ රාවණාගේ ගුවන් තාක්ෂණය පිළිබඳව ලෝකයට කියා පෑමේ අරමුණින් තමයි අපේ චන්ද්‍රිකාවට රාවණා 1 කියලා නම දැම්මේ.”

තායිලන්තයට ගොස් විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා ඇති දුලානි චාමිකා විතානගේ, පසුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක්ව තිබෙනවා.

මේ වන විට ඇය රාවණා 1 චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට දායක වන අතරතුර පශ්චාත් උපාධියක් හදාරමින් සිටිනවා.

“මගේ අනාගත ඉලක්කය තමයි, අභ්‍යවකාශ ඉන්ජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් ලබා ගන්න එක. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණය නගා සිටුවන්න මම කටයුතු කරනවා.” යනුවෙන් දුලානි සඳහන් කර සිටිනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය ආරම්භ කළ තරිඳු දයාරත්න මේ වන විට ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ පශ්චාත් උපාධියක් හදාරමින් සිටිනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ මෙවැන්නක්,

“මගේ එක ම අරමුණ තමයි ශ්‍රී ලංකාවේ ඉඳගෙන ශ්‍රී ලංකාවේ ම චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීම. ඒකට අවශ්‍ය දැනුම අපට තියෙනවා. පහසුකම් නම් නැහැ. අපිට පුළුවන් ලංකාවේ චන්ද්‍රිකාව සැලසුම් කරලා ජපානයට ගිහින් හදන්න.” යනුවෙන් පවසා සිටියා.

රාවණා 1 (RAAVANA-1) යනු ඝනක චන්ද්‍රිකාවකි (cube satellite). ඝනක චන්ද්‍රිකාවක් යනු විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් (Classical Satellite) නොවන අතර ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි. මෙවැනි චන්ද්‍රිකා නිර්මාණය කිරීමට මෙන් ම කක්ෂගත කිරීමට ද වැය වන මුදල සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතිනවා.

රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අපේක්ෂා කරන මෙහෙයුම් 5ක් වනවා.
ඒ අතර,

1. ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම.
2. ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුල්’ (මෙය දත්ත ඩවුන්ලෝඩ් කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය) නමැති මෘදුකාංගය අත්හදා බැලීම.
3. චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම.
4. කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම (active attitude stabilization) පිළිබඳව අත්හදා බැලීම.
5. පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම.

මෙම චන්ද්‍රිකාව නිර්මාණය කරනුයේ, ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ (Kyushu Institute of Technology) සිටයි.

ඝන සෙන්ටි මීටර් 10ක විශාලත්වයෙන් යුතු චන්ද්‍රිකාව පෙබරවාරි මාසයේදී ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency – JAXA) වෙත භාර දීමට නියමිත වන අතර ඒ සම්බන්ධයෙන් තරිඳු දයාරත්න බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නක්.

“එතනින් අපේ චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යවනවා. කියුබ් චන්ද්‍රිකා විශාල නොවන නිසා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ආහාර සහ තවත් උපකරණ යැවීමේදී අපගේ චන්ද්‍රිකාවත් එහෙට යැවීමට සූදානම් කරලා තියෙනවා. චන්ද්‍රිකාව කක්ෂගත කරන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටයි.”

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් රාවණා 1 කක්ෂගත කිරීමට නියමිතය.

එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කරනු ලබනවා.

උපුටා ගැනීම – bbc සිංහල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here