සාර්ථක ක්‍රිකට් පන්දු යවන්නෙකු බිහිවෙන මූලික ලකුණු පහළවන්නේ ඔහුගේ පළමු තරග කිහිපයේදීමයි. ඒ ලබා ගන්නා කඩුලු ප්‍රමාණය මත නොවේ. ඔහු කෙතරම් හොඳින් වර්ධනය වනවා ද, තරග කියවන්නට හුරුවනවා ද, පීඩනය මැද පන්දු යවනවා ද සහ පහර කා යළි නැගිටිනවා ද වැනි සාධක එය කියාපාන ප්‍රධාන සාධක ය. මේ වන විට ශ්‍රී ලංකාවේ එවැන්නා අකිල ධනංජය ය. ඔහුට “පන්දුව දමාගසන චෝදනාව” එල්ල වී තිබේ.

අකිලගේ පන්දු විවිධාංගීකරණය පන්දු පහකින් පමණ යුක්තය. පිට දඟපන්දුව, ආමර් පන්දුව, පා දඟපන්දුව, ටොප්ස්පින් සහ ගුග්ලිය ඊට ඇතුළත් ය. මෑතක දී වාර්තා වුනේ ඔහු තවත් පන්දුවක් අත්හදා බලමින් සිටින බවයි. දැනට පවතින නීති රීති වලට අනුව තරගයක දී පන්දු යවන්නෙකුගේ ඉරියව්ව සැකසහිත නම් විනිසුරුවන් විසින් තරග තීරකවරයාට දැනුම් දෙනු ලැබේ. ඉන්පසුව iCCය විසින් පවත්වන පරීක්ෂණයකින් පසුව එහි නෛතිකභාවය තහවුරු කරගත යුතුය.

දැන් අකිලට සිදුවී ඇත්තේ එයයි. පසුගිය දා පැවති එංගලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දී විනිසුරු මරායේ එරාස්මස් සහ ක්‍රිස් ගැෆ්නි දෙදෙනා විසින් අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන තීරකවරයාට දැනුම් දී ඇත. මුත්තයියා මුරලිදරන්ට 90 දශකයේ මැද භාගයේ දී එල්ල වූ මෙවැනිම චෝදනාවක දී ඔහුව පර්යේෂණ රැසකට ලක්කරනු ලැබිණි. ඉන් අනතුරුව සොයා ගැනුනේ එය මුරලිගේ අතෙහි උපන් පිහිටීමක් නිසා ඇතිවන දෘෂ්ටි මායාවක් බවයි. එහි දී ඓCCය තීරණය කළ පරිදි, පන්දු යවන්නෙකුට අංශක 15ක කෝණයක් දක්වා සුරත නම්‍ය කිරීමේ හැකියාව ලබා දීමටයි.

පසුව මුරලි තම වසර 20ක ටෙස්ට් ක්‍රිකට් දිවිය 2010 වසරේ දී අවසන් කළේ ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභියා ලෙසයි. එකල ඔහු වෙනුවෙන් පෙනී සිටි එවකට නායකයා (අර්ජුන රණතුංග), පරිපාලකයන් සහ පර්යේෂකයන් ඔහුව රැක ගැනීමට දැක්වූ සහයෝගය නිසා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට මහත් සේවයක් ඉටු විය.

ක්‍රිකට් ක්‍රීඩාවේ දී දඟපන්දු යැවීම වෙනම කලාවකි. පන්දුව ගුවනට මුසු කිරීම, පිතිකරුවා පෙළඹවීම, දඟ කැවීම සහ කපටි වීම එහි මූලිකාංග වූවත් පන්දුවෙන් ජිමික් දැමීම ද ඊට යොදාගත හැකි බැව් හොඳින්ම ලොවට ප්‍රකට කළේ ලාංකිකයන් ය. ඒ මෙරට පන්දු යවන්නන්ට උපතින්ම හිමිවන බහුකාර්ය ඇඟිලි සහ මැණික් කටු නිසා බව නොරහසකි. ඔබට සරලව කිවහොත් ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභී දකුණත් සහ වමත් දඟපන්දු යවන්නන් දෙපලම බිහිවී ඇත්තේ ශ්‍රී ලංකාවෙනි. ඒ පිළිවෙළින් මුරලි සහ රංගන හේරත් ය. රංගන හේරත්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවේ මීළඟ දඟපන්දු පුරුක වන අකිල ධනංජයට පන්දු යැවීමේ ඉරියව්ව ගැන චෝදනාවක් එල්ල වීම පුදුමාකාර ය.

අංශක 15 කෝණය නිසා ලොව බොහෝ දඟපන්දු යවන්නන් තම පන්දු යවන අත හැකි පමණ (අංශක 15 ආසන්නයටම) නවා පන්දු යැවීමට පෙළඹේ. ඉන් වැඩි දඟකැවීමක් මෙන්ම දුස්රා පන්දුව යැවීමේ හැකියාව ද වර්ධනය කරගත හැකි බැව් ඔප්පු වූ සත්‍යයකි. ප්‍රශ්නය හටගන්නේ උවමනාවට වඩා අත නැවීමෙනි. කඩුලු ලබා ගැනීම දුස්රාවක් මතම රඳාපවතින බව විශ්වාස කිරීමෙනි. එහෙත් එය එසේ නොවේ. රංගන හේරත් ඊට හොඳම උදාහරණයයි. ක්‍රිකට් දිවිය ආරම්භයේ දී කැරම් පන්දුවක් යැවූ ඔහු ක්‍රිකට් දිවියේ අවසන් භාගයට එළඹෙන විට එය යොදා නොගත් තරම් ය. සමහර විට විනිසුරුවන්ගේ සැකයට බඳුන් වීමට වඩා සුපුරුදු පන්දුවෙන් කඩුලු ලබා ගැනීම වඩා හොඳ යැයි ඔහු සිතන්නට ඇත. එය සත්‍යයකි. ‘ජීමීක් දැමීමට වඩා කෙමෙන් කෙමෙන් පිතිකරු අස්ථාවර කොට ලබා ගන්නා කඩුලු වටිනාකමෙන් වැඩිය.

සාමාන්‍යයෙන් යුරෝපයේ සහ බටහිර රටවල්වල ක්‍රීඩකයන්ට පිහිටන්නේ නැති ඇඟිලි පිහිටීමක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඇත. ඊට නොදෙවෙනි කල්පනා ශක්තියක් ද මෙරට ක්‍රීඩකයන්ට ඇත. ලොව කුඩා ජනගහනයක් සහිත, කුඩා මිනිසුන් සිටින, කුඩා දූපතක් වන ශ්‍රී ලංකාවෙන් දැවැන්ත පෞර්ෂයන් බිහිවීමේ එක් රහසක් වන්නේ ඒ කල්පනාකාරී සහ බුද්ධිමත් බවයි.

නාසා වැනි බුද්ධිය ප්‍රමුඛ වන ආයතන සහ ලොව ප්‍රමුඛ විශ්ව විද්‍යාල තුළ අනෙක් රටවල් වලට සාපේක්ෂව ශ්‍රී ලාංකිකයන්ගේ ඇතුළත් වීම ඉහළ මට්ටමක පවතියි. ඔවුහු කල්පනාවෙන් සැලසුම් කිරීමේ කප්පිත්තන් ය. එහෙත් ඒ ක්ෂණික නූඩ්ල්ස් සහ ක්ෂණික ශක්තිජනක පානයන් මෙරට ළාබාල දරුවන්ව අරක්ගන්නට පෙර ය. වර්තමානය අඳුරු වෙමින් පැවතුණ ද අකිල ධනංජය යනු මෙරට දඟපන්දු යවන්නන්ගේ නාමාවලියේ මීළඟ වැඩකාරයා බව පෙනෙන්නට තිබේ. ඒ කඩුලු ලබා ගැනීමෙන් නොවන බව නැවතත් කියමි. වර්ධනය කරගත හැකි මුල් ඔහු සතුව පවතින බව නම් ඊට හේතුවයි.

අකිලට වයස අවුරුදු 18ක් 19ක් වන විටම ඔහුට මහේල ජයවර්ධන වැනි දැවැන්ත පිතිකරුවෙකුගේ නෙත ගැටීමට ඉවහල් වූයේ ඒ දියුණු කර ගත හැකි මුල් ය. පන්දුව ගුවනේ පා කිරීම, දඟ කැවීම වැනි දේ ළාබාල වියෙහි දී ම ඔහුගේ ඇඟේ තිබෙනු අපි දැක ඇත්තෙමු. එසේ ඉක්මනින් හැඩගැසිය හැකි ළාබාලයින් කල්පනාකාරීව හැසිරවීම සහ ජාත්‍යන්තරය ඉදිරියේ රැකගැනීම අත්‍යාවශ්‍ය ය.

මෙරටින් දැවැන්ත ක්‍රිකට් පෞර්ෂයන් බිහි වූයේ ද පෙර කී බුද්ධිමත් සහ කල්පනාකාරී බව නිසා මිස පරිපාලකයන්ගේ විශේෂ හැකියාවක් නිසාවත්, මෙරට ක්‍රීඩා සමාජ පද්ධතියේ පවතින විශේෂතාවයක් නිසාවත් නොවන බව සඳහන් කළ යුතුය. ඊට උදාහරණ සැපයිය හැකි පන්දු යවන්නන් ලැයිස්තුවක්ම මෙහි සඳහන් කළ හැකිය.

මුත්තයියා මුරලිදරන් මැණික් කටුවෙන් හරඹ කරන විට රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, සචිත්‍ර සේනානායක, තරිඳු කෞෂාල් සහ අකිල ධනංජය මැණික් කටු, ඇඟිලි එහෙ-මෙහෙ කරකවමින් පන්දුවෙන් ජිමික් කරන්නට විය. එය විශේෂ හැකියාවක් බව ලෙදර් පන්දුවක් අතින් හෝ අල්ලා ඇති අයෙකුට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. එය අපහසු ය. එහෙත් මේ සියල්ල කළ යුත්තේ නීති රීති වලට යටත්ව ය. එනම් පන්දු යැවීමේ දී සුරතේ වැලමිට අංශක 15කට වැඩි කෝණයකින් නම්‍ය වන්නේ ද යන ගැටලුව ගැන සැලකිලිමත් විය යුතුය. දැන් අකිලට එරෙහිව නැගෙන චෝදනාව නම්, ඔහු පන්දුව දමාගසන්නේ ද/නැද්ද යන්නයි.

මින් පෙර මුත්තයියා මුරලිදරන්ව රැකගත්ත ද, එතැන් සිට ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ පෑ බොහෝ ජාත්‍යන්තර ක්‍රිකට් අභියෝග පරාජය වී ඇත. තරිඳු කෞෂාල් එක් උදාහරණයකි. දක්ෂ දේශීය පන්දු යවන්නෙකු වූ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන ද සැක පළවිණි. ඒ 2015 වර්ෂයේ දීයි. ඔහුට පන්දුව හොඳින් දඟකැවීමේ හැකියාවකුත්, දුස්රා පන්දුව යැවීමේ හැකියාවකුත් පැවතිණි. එහෙත් ඔහුගේ ගමන අතරමග නැවතුණේය. ඔහු අවසන් වරට ජාත්‍යන්තරය තුළ ක්‍රීඩා කළේ 2015 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවයි.

තරිඳුට පෙර සචිත්‍ර සේනානායකව මේ සැකයටම භාජනය විණි. පර්යේෂණ වලින් පසුව ඔප්පු වූයේ ඔහුගේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බවයි. එසේ වන්නට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම එක්දින දඟපන්දු යවන්නා වූයේ සචිත්‍ර ය. ලෝක එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් තුළ ඔහු පළමු 20දෙනා අතර සිටියේය. ඔහු නම් දරා සිටියේ පළමු පන්දු ඕවර කිහිපය තුළ කඩුලු ලබා ගත හැකි දඟපන්දු යවන්නෙකු ලෙසයි. එහෙත් ඔහු ද 2014 දී ශ්‍රී ලංකාවට අහිමි විය.

අජන්ත මෙන්ඩිස්, ජාත්‍යන්තර ක්‍රිකට් ලොවට පා තබන විට ඔහු සම්පූර්ණයෙන්ම මැජික්කරුවෙකි. කිසිදු පිතිකරුවෙකු ඔහුගේ පන්දු හරිහැටි අවබෝධ කොටගත්තේ නැත. ඔහු තරග දිනවන්නෙකු විය. ඔහුගේ නවීකරණය කරන්නට තිබුණේ සුළු සුළු අංග කිහිපයකි. එහෙත් නොදන්නා හේතුවක් නිසා ඔහුව සම්පූර්ණයෙන්ම නවීකරණය කරන්නට ගොස්, ඒ තරග දිනවන්නා ශ්‍රී ලංකාවට අහිමි විය. අද ඔහු සංචිතයකවත් නැත.

2019 ලෝක කුසලානය අත ළඟ ය. එහෙත් 2015 ලෝක කුසලානය අත ළඟ තිබිය දී සිදු වූ දෙය ඔබට අමතකව නැතැයි සිතමි. සනත් ජයසූරියගේ නියම අනුප්‍රාප්තිකයා ලෙස හැඳින්විය හැකිව තිබූ කුසල් පෙරේරාව තහනම් උත්තේජක චෝදනාවකට ලක් කෙරිණි. වසරක තරග තහනමකින් පසුව ඔප්පු වූයේ ඔහු එවැනි වරදක් නොකළ බවයි. එවකට නැගී එමින් සිටි ප්‍රවේගකාරී පිතිකරුගේ රිද්මය ඉන් බිඳහෙලනු ලැබිණි. අද වන විට ආරම්භක පිතිකරුගේ ස්ථානය ද ඔහුට අහිමිව ඇත.

ප්‍රමුඛ ජාත්‍යන්තර තරගාවලියක් ළඟා වන විට ශ්‍රී ලංකාවේ ළාබාලයන්ව පර්යේෂණ වලට ලක්කිරීම ඓCCයේ පුරුද්දක් බවට පත්වෙමින් ඇත්දැයි විටෙක සිතේ. ශ්‍රී ලංකාවේ නැගී එන ළාබාලයන් ඇතැම් රටවල් වලට හිසරදයක් වී ඇත්දැයි ද පැනයක් ජනිත වේ. ‘අකිල තවමත් තර්ජනාත්මක පන්දු යවන්නෙකු නොවේ’ යැයි කෙනෙකු තර්ක කළ හැක. එහෙත් මුරලිදරන්ට මෙවැනි චෝදනාවක් එන විට ඔහු ද තර්ජනාත්මක පන්දු යවන්නෙකු නොවූ බව ඔබට සිහිකරන්නට කැමැත්තෙමි. ප්‍රතිවාදීන් දුටුවේ ඔහුගේ අනාගතයයි.

එසේ නම් රංගන හේරත් ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් ඉවත් වන ඇසිල්ලේ අකිල ධනංජයට මෙවන් චෝදනාවක් එල්ල කිරීම ගැන දෙවරක් සිතා බැලිය යුතුය. ඉක්මනින් අපේ පන්දු යවන්නා නිර්දෝෂී කර ගත යුතුය. පර්යේෂණවලට ඔහුව සහභාගී කොට නිදොස් කොට නිදහස් කරගන්නවා සේම ඔහුගේ මනස නොසෙල්වී තබාගන්නට ඔහුට උපදේශනයන් සැලසිය යුතුය. ඉරියව්වේ වෙනසක් අවශ්‍ය නම් එය ඉක්මනින් අකිලට කාවැද්දිය යුතුය. කුමන හෝ හේතුවක් නිසා මේ වැසී යන්නට යන්නේ අකිලගේ අනාගතයයි.

පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ චෝදනාවෙන් ලොවට අහිමි වූ දස්කම් බොහොමයකි. සයිඩ් අජ්මාල්, ජොහාන් බෝතා, ෂේන් ෂිලින්ග්ෆර්ඩ් එවන් කිහිප දෙනෙකි. ඔවුන්ගේ වැලමිටි අංශක 15කට වඩා නම්‍ය වන බව සොයා ගැනීමෙන් පසු ඔවුන්ට පන්දු යැවීම තහනම් කෙරිණි. නොඑසේ නම් දුස්රා පන්දුව තහනම් කෙරිණි. හර්භජන් සිං වැනි පන්දු යවන්නන්ට ද ඒ චෝදනාව එල්ල වූ බව අපි දනිමු. එහෙත් වත්මන් ඉන්දියානු පන්දු යවන්නන්ගෙන් බොහෝ සැක සහිත පන්දු යවන්නන් ගැන විනිසුරුවන් නිහඬ ය. සමහර විට ඊට හේතුවක් ඇතිවා වන්නට පුළුවන. නරකම අත්දැකීමක් ලැබුවෙකු ලෙස බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි සුනිල් නරයින්ව සඳහන් කළ හැක. ඔහුට ද අදාළ චෝදනාව නිසා ලෝක කුසලාන තරගාවලියක් අහිමි විය. ඔහු විටෙක චූදිතයා වේ. විටෙක නිදොස් වේ. නැවත සැකකරුවා වේ.

කෙසේ වෙතත් ඓCCය සිදු කළ යුත්තේ ක්‍රිකට් රැකගැනීමට අවශ්‍ය දෑ මිස ක්‍රිකට් නැසීමට අවශ්‍ය දෑ නොවේ. එබැවින් කළ යුතු වන්නේ අකිල වැනි නැගී එන දඟපන්දු යවන්නන් නොමරා පන්දු යැවීමේ ඉරියව්ව ගැන පූර්ව පරීක්ෂණ පැවැත්වීමයි. ජාත්‍යන්තර තරග වාරයට සහභාගී වන සෑම පන්දු යවන්නෙකුම ජාත්‍යන්තරයට පිළිගන්වන්නට පෙර පර්යේෂණය කළ හැකි නම් එය ද එක ක්‍රමයකි. නැතිනම් දේශීය වශයෙන් පර්යේෂණ පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැපයිය හැකි නම් එය ද වඩා පහසු විය හැක. එවිට ලෝක කුසලානයක් ලංවන විට නවකයන්ට බාධා එල්ල කිරීමට සිදු නොවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here